මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් අතුරුදහන් වීමේ සිද්ධියට අදාළව ගොනු කර ඇති හබයාස් කෝපුස් (Habeas Corpus) පෙත්සම් විභාගය සඳහා මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ සාක්ෂි ලබා දීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අද (02) අවසර ලබා දුන්නේය.
ඒ ඔවුන් දෙදෙනා අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් ගොනු කරන ලද නඩුව අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.
ගෝඨාට නොතීසි නිකුත් කළ අතීතය මෙම අතුරුදහන් වීම සිදු වන සමයේ මෙරට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ, තමන්ට යාපනය ප්‍රදේශයට පැමිණීමේ දී ආරක්ෂක තර්ජන පවතින බව පවසමින් ඔහුගේ නීතිඥවරුන් මාර්ගයෙන් කළ ඉල්ලීමක් සලකා බලමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.
ලලිත් සහ කූගන් යන සමාජ ක්‍රියාකාරීන් දෙදෙනා අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් ගොනු කරන ලද මෙම නඩුවට අදාළව, 2019 වසරේ දී එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත නොතීසි ද නිකුත් කර තිබිණි.
එහෙත් එම වකවානුවේ ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු පැවතීම සහ ආරක්ෂක හේතු මත ඔහු අධිකරණය හමුවේ පෙනී සිටීම මඟහැර සිටි අතර, පසුව අභියාචනාධිකරණ නියෝගයක් මගින් එම නොතීසිය තාවකාලිකව වළක්වා ගැනීමට ද කටයුතු කෙරිණි.
කෙසේ වෙතත්, වින්දිතයන්ගේ පවුල් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් දිගින් දිගටම පෙන්වා දුන්නේ සාක්ෂි දීම මඟහැරීම තුළින් මෙම සිදුවීමට අදාළ තොරතුරු වසන් කිරීමේ සැකයක් මතු වන බවයි.
ගෝඨා ගැන සැකය දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් අතුරුදහන් වූයේ 2011 වසරේ දෙසැම්බර් මස 09 වැනි දින යාපනය, ආවර්න්ගාල් ප්‍රදේශයේ දී ය.
ඔවුන් දෙදෙනා ‘අතුරුදහන් කරවූවන්ගේ පවුල් එකතුව’ සංවිධානය කරමින්, උතුරේ අතුරුදහන් වූවන් වෙනුවෙන් ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව 2011 දෙසැම්බර් 10 වැනිදා යාපනයේ දී විශාල විරෝධතාවක් සහ මාධ්‍ය හමුවක් පැවැත්වීමට සූදානමින් සිටියදී මෙලෙස පැහැරගැනීමට ලක්විය.
එකල යාපනය අර්ධද්වීපය දැඩි හමුදා රැකවල් සහ ආරක්ෂක මුරපොළවල් මගින් පාලනය වූ සංවේදී කලාපයක් වූ බැවින්, එවැනි වටපිටාවක සිවිල් ක්‍රියාකාරීන් දෙදෙනෙකු අතුරුදහන් වීම රජයේ ආරක්ෂක අංශවල අනුදැනුමකින් තොරව සිදු විය නොහැකි බවට ඥාතීහු සහ මානව හිමිකම් සංවිධාන චෝදනා කළහ. 2011 වසරේ දී ලංකාවේ සමස්ත ආරක්ෂක යාන්ත්‍රණය සහ බුද්ධි අංශ පාලනය වූයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේ බැවින්, මෙම අතුරුදහන් වීම් සම්බන්ධයෙන් ඔහුට සෘජු අණදීමේ වගකීමක් (Command Responsibility) ඇති බවට සැකය තදින්ම මතු විය.
මීට පෙර මෙම නඩුව විභාග වූ අවස්ථාවල දී එකල යාපනය ආඥාපතිවරයාව සිටි මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා වැනි ඉහළ පෙළේ හමුදා නිලධාරීන්ගෙන් ද සාක්ෂි කැඳවනු ලැබ තිබණි.
එහිදී ප්‍රකාශ වූයේ ලලිත් සහ කූගන් ආරක්ෂක අංශ භාරයේ සිටින බවට තමන් විශ්වාස කරන බවය. මෙවැනි පසුබිමක, සමස්ත රහස්‍ය මෙහෙයුම් පිළිබඳව එකල ආරක්ෂක ලේකම්වරයා දැනුවත්ව සිටින්නට ඇතැයි යන පදනම මත ඔහුගෙන් සාක්ෂි විමසීම අත්‍යවශ්‍ය බව ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නුවන් බෝපගේ ඇතුළු පිරිස අධිකරණය හමුවේ අවධාරණය කර සිටියහ.
ඒ අනුව, දීර්ඝ නීතිමය ක්‍රියාවලියකින් පසු යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම මාර්ගගත සාක්ෂි දීමේ අවසරය ලබා දී තිබේ.









