සූරියවැව නුවන් ජයසේකර –
අම්බලන්තොට මාමඩල බොකුටුයාය ප්රදේශයේදී පසුගිය 11 වන දින රාත්රියේ පුද්ගලයෙකුගේ ගෙල කපා, එම සිරුර මාමඩල හන්දියේ පිහිටි පිළිරුවක එල්ලීමේ සිදුවීමේ සිවුවන ඊයේ (21) රාත්රී අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘කරුණේ ලොක්කා’ නමැති පුද්ගලයෙකි. ඔහු අපරාධ නඩු කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි අයෙකු ද වන බව පොලිසිය සඳහන් කළේය.
පසුගිය 11 වන දින රාත්රියේ මෙලෙස ඝාතනයට ලක්වූයේ අංක 396, බොකුටුයාය, මාමඩල, අම්බලන්තොට ලිපිනයේ පදිංචිව සිටි වීරසේකර ආරච්චිගේ ලක්මාල් සඳරුවන් නමැති අයයි. ඔහුව ඝාතනය කිරීමෙන් පසු, ඝාතකයින් විසින් ඔහුගේ හිස කඳෙන් වෙන් කරගෙන ගොස් අම්බලන්තොට මාමඩල හන්දියේ පිහිටි රත්නාවලි දේවියගේ පිළිරුවේ දෑත් මත තබා ගොස් තිබුණි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා මීට පෙර මාමඩල ප්රදේශයේ සිදුවූ ත්රිත්ව ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිට, පසුව අධිකරණයෙන් ඇප ලබා පැමිණ සිටි අයෙකි.
මෙම අපරාධ සිද්ධිය වාර්තා වීමත් සමඟ වහා ක්රියාත්මක වූ අම්බලන්තොට පොලිස් නිලධාරීන් විසින් සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු එම ප්රදේශයේදීම අත්අඩංගුවට ගන්නා ලදී. අනතුරුව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු ලුණුගම්වෙහෙර ප්රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් අතර, ඔවුන් හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි මස 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පසුව සිද්ධිය සම්බන්ධව සිටි ‘කරුණේ ලොක්කා’ නමැත්තා අනාවරණය කරගෙන ඊයේ (21) රාත්රී ඔහුව මාමඩල ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරුගෙන් ප්රකාශ ලබාගැනීමෙන් අනතුරුව හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.







