මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්යක්ෂවරයකුගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා සිව්පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත් කර තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.
සිද්ධියේ පවතින සංකීර්ණ ස්වභාවය සලකා බැලීමෙන් අනතුරුව, නිවැරදි මරණ පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීම සඳහා මෙම විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලය පත් කිරීමට පියවර ගෙන ඇත.
අදාළ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතය.
අතිශය ආන්දෝලනාත්මක මූල්‍ය ගනුදෙනුවක ප්‍රධානම සාක්ෂිකරුවෙක් වූ මුදල් අමාත්‍යාංශයේ බාහිර සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ රංග රාජපක්ෂ අබිරහස් ලෙස මියගොස් සිටිය දී ඊයේ පස්වරුවේ හමුවන්නේය. ඔහුගේ සිරුර තිබුනේ ගෙවත්තේ කෙසෙල් ගසක් මුල ය.
මහා භාණ්ඩාගාරය විසින් සිදුකළ විදේශ ණය පියවීමකදී අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවන පාර්ශවයකට මාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරන විමර්ශනයට අදාලව මොහුගේ සේවය අත්හිටුවා තිබිණි.







