ඉඳුනිල් කහටපිටිය –
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් සොරකම් කිරිමේ සිදුවීමට අදාලව වැඩ තහනමට ලක්ව සිටි මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ රංග රාජපක්ෂ ඔහුගේ ගෙවත්තේ කෙසෙල් ගසක් යට මිය ගොස් තිබිය දී සිරුර පොලිසිය විසින් සොයා ගත්තේය.
මිය ගිය සහකාර අධ්යක්ෂ අබේසිංහ මුදියන්සේලාගේ රංග නිශාන්ත රාජපක්ෂ 50 හැවිරිදි දෙදරු පියෙකි.

තමන් වත්ත පහළ සුද්ද කිරීම සඳහා යන බව සිය දියණියට පවසමින් අද පස්වරු 10ට පමණ ඔහු සිය නිවස පිහිටි ඉඩමේ පහළට ගොස් තිබිණි. නැවත ඔහු ප්‍රමාද වීම ගැන විමසෙන්නේ ගුරුවරියක වූ ඔහුගේ බිරිය පාසල් ඇරී පැමිණ දියණියගෙන් පියා ගැන විමසූ විටය.
පියා වත්ත පහළට ගිය බවත් ඉන් පසු නොපැමිණි බවත් පවසා පියා බැලීමට ගිය දියණියට ඔහු වත්ත පහළ කෙසෙල් පඳුරක් ලඟ වැටී සිටින අයුරු දැකගන්නට ලැබී ඇත. වහාම ඇය සිය මව දැනුම්වත් කර ඇති තිබේ. රංගගේ බිරිය මේ සම්බන්ධව 119 හරහා පොලිසිය දැනුම්වත් කරන්නේ ඉන් අනතුරුවය.
කුලියාපිටිය පොලිසිය රංග ගේ නිවසට ඔහුගේ නිවසට ගොස් ගෙවත්ත පරීක්ෂා කිරීමේ දී ගෙවත්තේ කෙසෙල් පඳුරක් අසල තරමක විශාල ලේ පැල්ලමක් තිබෙන අයුරු නිරීක්ෂණය කර ඇත.
ඔහු වැටී සිටි ස්ථානයේ කුඩා ප්‍රමාණයේ පිහියක් ද හමුවී වී තිබෙන අතර වම් අතේ සහ පාද දෙකේ කැපුම් තුවාල සහිතව ඔහු මියගොස් සිටින ආකාරය පොලිසිය දැක තිබේ. මියගොස් සිටි රංග රාජපක්ෂගේ දේහය සම්බන්ධව පොලිස් විමර්ශනය සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුවූයේ අද පස්වරුවේය.

වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කර තිබේ.
විමර්ශන අංශ පවසන්නේ පෙනෙන්නට ඇති මූලික ලක්ෂණවලින් මේ මරණය සිය දිවි හානිකරගැනීමක් බවට සැක කෙරෙන බවය. එහෙත් මරණය ප්‍රශ්න කීපයක් මතු කර ඇත. මරණය සඳහා මේ තරම් වේදනාකාරී ක්‍රමයක් ඔහු තෝරා ගත්තේ ඇයි ද යන්න ඒ අතර වේ. පොලිස් විමර්ශකයින්ට අනුව ඔහු අසල තිබූ පිහිය තියුණු ලෙස කැපෙන පිහියක් නොවන බව නිරීක්ෂණය වී ඇත.
ඔහුගේ පසුබිම සම්බන්ධව කළ පරීක්ෂා කිරීමේ දී ඔහු දූෂිත නිලධාරියෙක් නොවන බව අනාවරණය වී තිබේ. මහා භාණ්ඩාගාරයේ මුදල් සයිබර් අපාරධකරුවන් සොරා ගැනීමට අදාලව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ රංග රාජපක්ෂගෙන් අවස්ථා තුනක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.
සේවයේ යෙදී සිටි කාලයේ එක් වරක් ද සේවය අත් හිටවූ පසු දෙවරක් ද ලෙස මෙම ප්‍රකාශ සටහන් කරගෙන තිබී ඇත. ඒ සෑම අවස්ථාවකදීම ඔහු විමර්ශනයට සහයෝගය ලබා දී තිබේ. ඔහුගේ පරිගණකය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබිණි. මූලික විමර්ශනයේ වාර්තා අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව රංග රාජපක්ෂට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබුණේය.
කෙසේ වෙතත් රැකියාව අත්හිටුවීමෙන් පසු හෙතෙම දැඩි සිත් තැවුලෙන් පසුවී ඇති බව අනාවරණය වී තිබේ.
.රංග රාජපක්ෂ මේ විමර්ශනයට වැදගත් වන්නේ කෙසේ ද?
මෙතෙක් හෙළි වූ කරුණුවලින් අනාවරණය වී ඇත්තේ හැකර්ලා ව්‍යාජ ඊ මේල් පණිවිඩ මගින් ලබා දුන් බැංකු ගිණුමට මුදල් බැර කිරීමේ මුලික පියවර මෙම නිලධාරියාගේ නොසැලකිල්ල මත සිදුව ඇති බවය.
හැකර්ලා එවන ලද පළමු ඊ මේල් පණිවිඩයට ප්‍රතිචාර දක්වා ඇත්තේත් මිය ගිය නිලධාරියා විසිනි. ඔහු මෙම නඩුවේ වැදගත්ම සාක්ෂිකරුවෙක් බව ද විමර්ශන අංශවලට පෙනී ගොස් ඇත.
හෙට දිනය වනවිට අධිකරණ වෛද්‍ය වාර්තාව මේ මරණය සම්බන්ධව නිශ්චිත විද්‍යාත්මක තහවුරුව ඉදිරිපත් කරනු ඇත. විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකය.
මේ ලිපියත් කියවන්න.
ඩොලර් මිලියන 2.5ක වංචාවට වැඩ තහනම් වූ නිලධාරියෙක් හදිසියේ මියයයි!







