ලලිත් චාමින්ද –
2026 අප්‍රේල් 24 වන දින සාගරිකා ශීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමේ සිදුවීමට අදාළව, එම දුම්රියේ සේවය කළ මෙහෙයුම් කාර්ය මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරිවලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ සාගරිකා දුම්රිය අප්‍රේල් 24 වනදා පෙරවරුවේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වාඩුුව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමට ලක්විය. මාධ්‍ය වාර්තා සඳහන් කරන පරිදි, මෙම දුම්රියේ රියදුරු, නියාමක, සහාය රියදුරු සහ සහාය නියාමක යන සිව්දෙනාට මෙලෙස සේවය වාර්තා කිරීම තහනම් කර ඇත.
මෙම තීරණය 2026 අප්‍රේල් 26 වන දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. සාගරිකා දුම්රියේ මෙහෙයුම් කාර්ය මණ්ඩලය රාජකාරිවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන දුම්රිය බලධාරීන් පෙන්වා දෙන්නේ, මෙය දණ්ඩනාත්මක පියවරක් නොව ඕනෑම අනතුරකදී අනුගමනය කරනු ලබන සම්මත පටිපාටියක් බවය.
දුම්රිය මාර්ගයේ පවතින දෝෂයක් අනතුරට හේතුව බවට සැක පවතින පසුබිමක වුවද, පරීක්ෂණ නිමවන තෙක් රියදුරු සහ නියාමක ඇතුළු පිරිස සේවයෙන් බැහැරව තැබීම සාමාන්‍ය ක්‍රියාවලියකි. අනතුරේ නිශ්චිත හේතුව තවමත් තහවුරු වී නොමැති බැවින්, මාර්ග දෝෂයන්ට අමතරව දුම්රියේ වේගය, සංඥා පිළිපැදීම සහ තිරිංග භාවිතය වැනි තාක්ෂණික කරුණු පිළිබඳවද නිරපේක්ෂ විමර්ශනයක් සිදු කිරීම මෙහි අරමුණයි.
විශේෂයෙන්ම විමර්ශන කටයුතු සිදුවන අවස්ථාවකදී අදාළ නිලධාරීන් සේවයේ රැඳී සිටීම සාක්ෂි ලබාගැනීමට සහ විමර්ශනයේ අපක්ෂපාතීත්වයට බාධාවක් විය හැකි බැවින් මෙම තීරණය ගෙන තිබේ.
දුම්රිය ආරක්ෂාව සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලයටද වගකීමක් පැවරෙන බැවින්, විමර්ශන වාර්තාව මගින් මාර්ග දෝෂය පමණක් අනතුරට හේතුව බව තහවුරු වුවහොත්, මොවුන් නැවත සේවයේ පිහිටුවීමට නියමිතය. මේ වන විට පත්කර ඇති තිදෙනෙකුගෙන් යුතු විශේෂ කමිටුව හරහා මෙම සියලු කරුණු සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම පීලි පැනීම හේතුවෙන් අනතුරට පත් ද්විත්ව බලවේග කට්ටලයට (Power Set) සහ දුම්රිය මාර්ගයට සැලකිය යුතු හානියක් සිදුව ඇති අතර, එම හානියේ මුළු වටිනාකම තවමත් තක්සේරු කර නොමැත.

දුම්රිය පීලි පැනීමේ මෑත කාලීන කතාව
සාගරිකා දුම්රිය පීලි පැනීම මෙවැනි පසුබිමක වාර්තා වන අතරතුර, ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවකින් මෙරට දුම්රිය අනතුරුවල බියකරු තත්ත්වයක් අනාවරණය කර තිබේ.
එම වාර්තාවට අනුව 2020 සිට 2024 දක්වා ගතවූ වසර පහක කාලය තුළ පමණක් මෙරට දුම්රිය පීලි පැනීම් 585ක් වාර්තා වී ඇත. මීට අමතරව එම කාලය තුළ දුම්රිය මැදිරි වෙන්වීම් (විභේදනය වීම්) 13ක් සහ දුම්රිය ගැටීම් 62ක් සිදුව ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ.
එමෙන්ම පසුගිය පස් වසරක කාලය තුළ දුම්රිය හරස් මාර්ගවල අනතුරු 385ක් සිදුවී ඇති අතර, ඉන් පුද්ගලයන් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 105 දෙනෙකු තුවාල ලබා තිබේ.
මුදල් රෙගුලාසි 104 ප්‍රකාරව වාර්තා වූ අනතුරු 572ක් සම්බන්ධයෙන් වසර එකත් හතරත් අතර කාලයක් ගතවී තිබුණද, විමර්ශන අවසන් කර ඇත්තේ අනතුරු 88ක පමණක් බව විගණන කාර්යාලය පෙන්වා දෙයි. එම නිම කරන ලද පරීක්ෂණ වාර්තාවලට අනුව පමණක් රුපියල් දෙකෝටි හාර ලක්ෂ පනස් හයදහස් නවයක (20,456,009) අලාභයක් තක්සේරු කර ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ගේ පවතින දැඩි පුරප්පාඩු හේතුවෙන් පීලි පැනීම්, ගැටීම් සහ අනෙකුත් හානි පිළිබඳ මූලික විමර්ශන කටයුතු අධික ලෙස ප්‍රමාද වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පිළිගෙන තිබේ. සාගරිකා දුම්රිය පීලි පැනීම සම්බන්ධ විමර්ශන කටයුතු ද මෙවැනි පසුබිමක සිදුවන බැවින් එහි අවසන් වාර්තාව නිකුත් කිරීම කෙරෙහි මහජන අවධානය යොමුව පවතී.







