අවිහිංසාව සහ සාමයේ පණිවිඩය ලොව පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් සංවිධානය කර ඇති ජාත්‍යන්තර “සාම පාගමන” (Walk For Peace) එළඹෙන අප්‍රේල් 22 වැනිදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වීමට නියමිතය. මෙම සුවිශේෂී ආගමික සහ සමාජයීය වැඩසටහන සඳහා සහභාගී වන පළමු භික්ෂූන් වහන්සේලා කණ්ඩායම අද (17) අලුයම දිවයිනට වැඩම කළහ.
මීට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ සාම පාගමන සඳහා නායකත්වය ලබාදුන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේගේ ප්රමුඛත්වයෙන් යුත් භික්ෂූන් වහන්සේලා දොළොස් නමකගෙන් සමන්විත කණ්ඩායම මෙරට පාගමනට ද නායකත්වය ලබාදෙති.
එම කණ්ඩායමට අයත් භික්ෂූන් වහන්සේලා කිහිපනමක් අද අලුයම 5.30 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි අතර, උන්වහන්සේලා ඉදිරි දින කිහිපය තුළ මෙම සුවිශේෂී සාම වන්දනාවේ මූලික කටයුතු සූදානම් කිරීමට නියමිතය.
මෙම සාම පාගමනට අතිශය මානුෂීය සහ සංවේදී වටිනාකමක් එක් කරමින්, ජාත්‍යන්තර වශයෙන් කාගේත් ආදරය දිනාගත් “ආලෝකා” (Aloka) නම් සුනඛයාද මෙම පාගමනට එක්වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඇමරිකානු පාගමන අතරතුරදීද කාගේත් අවධානය දිනාගත් ආලෝකා, සාමය සහ සත්ව කරුණාව පිළිබඳ පණිවිඩය ගෙන යන මෙම ගමනේ විශේෂ සංකේතයක් වනු ඇත.
ආශිර්වාදලත් ගමන් මඟ
අප්‍රේල් 22 වැනිදා ඓතිහාසික අනුරාධපුර පුදබිමේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසින් මෙම පාගමන නිල වශයෙන් ආරම්භ වේ. අටමස්ථානාධිපති නායක හිමිපාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ලබාගන්නා ලද පූජනීය ශ්‍රී මහා බෝධි අංකුරයක්ද සාමය, කරුණාව සහ ආධ්‍යාත්මික අඛණ්ඩතාවය සංකේතවත් කරමින් පාගමන පුරා වැඩම කරවීමට නියමිතය.
ජනාධිපති කාර්යාලයේදී පූජ්‍ය ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම වැඩසටහනට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය හිමිවී ඇත.







