කපිල කේ හීනටියන –
වසර දශක කිහිපයකට පසු අතිශය තීරණාත්මක මට්ටමේ සෘජු රාජ්‍ය තාන්ත්‍රික හමුවක් සනිටුහන් කරමින්, ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සාම සාකච්ඡා පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරදී මේ වනවිට ආරම්භ වී ඇති බවත් දෙපාර්ශවය අතර පවතින දැඩි අවිශ්වාසය හේතුවෙන් සාකච්ඡා අතිශය රහසිගත ලෙස පවත්වාගෙන යමින් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉරානය විසින් කරුණු 10 කින් යුත් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති අතර, එයට සම්බාධක ඉවත් කිරීම සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය පිළිබඳ කරුණු ඇතුළත් බව වාර්තා වේ. අනෙක් අතට, කලාපීය ආරක්ෂාව සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳව ඇමරිකානු පාර්ශවය අවධානය යොමු කර ඇත.
ඇමරිකාව විසින් අත්හිටුවා ඇති ඉරාන වත්කම් නිදහස් කිරීමට යම් එකඟතාවක් පළ කර ඇති බවට නිල නොවන වාර්තා පළ වුවද, ඇමරිකානු බලධාරීන් ඒ පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නැත.
සාකච්ඡා දින 15 ක් දක්වා ඇදී යා හැකි බව ඉරාන ආරක්ෂක අංශ පවසන අතර, රුසියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව මෙම සටන් විරාමය සුරැකීමට කටයුතු කරන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.
ඉස්ලාමාබාද් නුවර සෙරීනා හෝටලය කේන්ද්‍ර කරගනිමින් දැඩි ආරක්ෂක රැකවල් මැද පැවැත්වෙන මෙම සාකච්ඡා මාලාව, ගෝලීය බලශක්ති වෙළඳපොළට සහ මැදපෙරදිග ස්ථාවරත්වයට සෘජුව බලපාන බැවින් ලෝකයේම අවධානය මේ වන විට පාකිස්ථානය දෙසට යොමුව තිබේ.
මෙම සාකච්ඡා සඳහා ඇමරිකානු නියෝජිත කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් විසිනි. ඉරානය නියෝජනය කරමින් එරට පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගාලිබාෆ් සහ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ඇතුළු දූත පිරිසක් එක් වී සිටිති.
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මෙහිදී ප්‍රධාන මැදිහත්කරු ලෙස කටයුතු කරන අතර, ඔහු මෙම සාකච්ඡා වටය කලාපීය සාමය තීරණය කරන “තීරණාත්මක සන්ධිස්ථානයක්” ලෙස හඳුන්වා දී ඇත.







