හෝමාගම හරිත විශ්වවිද්‍යාලයේ (NSBM) සිසුන් දෙපිරිසක් අතර ඇති වූ මාරක ගැටුමට හේතුව සිසුවියක සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
වාර්තා වන අන්දමට, විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද අවුරුදු උත්සවයේ කටයුතු පස්වරු 6ට පමණ අවසන් වීමෙන් පසු, සිසුන් පිරිසක් අසල පිහිටි හෝටලයක මධුවිත ද සහිත සාදයක් පවත්වා තිබේ. එහිදී සිසු සිසුවියන් පිරිසක් මත්පැන් පානය කර ඇති බව ද පැවසේ.
සාදය අතරතුර එක් සිසුවියක් වැසිකිළිය වෙත ගිය අවස්ථාවේ, ඇයට සහාය වීමට මෙන් තවත් සිසුවෙකු එතැනට ගොස් ඇත. එය දුටු එම සිසුවියගේ පෙම්වතා (මියගිය සිසුවා) අදාළ සිසුවාට පහර දී තිබේ. එම අවස්ථාවේදී පහරකෑමට ලක්වූ සිසුවාගේ මිතුරන් පිරිසක් එක්ව පෙම්වතාට (මියගිය සිසුවාට) සමූහ වශයෙන් දැඩි ලෙස පහර දී ඇති බව විමර්ශනවලදී හෙළි විය.
රෝහල්ගත කරන විටත් මරුට
පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවා හෝටල් සේවකයින් විසින් වහාම රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණ ද, රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව පොලිසිය සඳහන් කරයි.
මියගොස් ඇත්තේ වැල්ලව, නිකදළුපොත ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි සිසුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සිසුන් පස්දෙනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. සිද්ධියේ නිශ්චිත තොරතුරු සහ ඊට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමට පොලිසිය කටයුතු කරමින් සිටී.
මේ ලිපියත් කියවන්න…







