හැටන් ප්‍රදේශයේ ප්රමුඛ පාසලක් වන හැටන් ශාන්ත ජෝන් බොස්කෝ පාසල් සිසුන් පිරිසක් විසින් එම පාසලේම 11 වසරේ ඉගනුම බන තවත් සිසුවෙකුට අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට හැටන් පොලිසිය පියවර ගෙන තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙය මීට දින 21කට පෙර, එනම් මාර්තු මාසය ආරම්භයේදී සිදු වූවක් බවයි. පහරදීමට මුල් වී ඇත්තේ පාසල් විනය සම්බන්ධ කරුණකි. පහරකෑමට ලක් වූ සිසුවා විසින් තවත් සිසුවෙකු දුම්පානය කරන බවට පන්ති භාර ගුරුතුමියට දැනුම් දීම මෙම ගැටුමට ආසන්නතම හේතුව වී ඇත. එම වෛරය පිරිමසා ගැනීම සඳහා සිසුන් දෙදෙනෙකු එක්ව මෙම පහරදීම සිදු කර ඇති බව පොලිසිය තහවුරු කරගෙන තිබේ.
මීට පෙර මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් නොවීමට හේතුවී ඇත්තේ, අදාළ විදුහල්පතිවරයා මැදිහත් වී දෙපාර්ශවයටම අවවාද කර පාසල් මට්ටමින් ප්රශ්නය සමථයකට පත් කිරීමට උත්සාහ කර තිබීමයි.
කෙසේ වෙතත්, පහරදීමේ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ පාසල තුළ සහ පිටත මෙම මදාවි සිසුන් පිළිබඳව දැඩි විරෝධයක් මතු වී ආවේය. සිද්ධිය නිසා තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව පවසමින් පහරකෑමට ලක් වූ සිසුවා සහ ඔහුගේ මව ඊයේ (28) දින පොලිසියට පැමිණිලි කර තිබිණි.
පහරකෑමට ලක් වූ සිසුවා මේ වන විට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබේ. පහරදීමට සම්බන්ධ වූ සහ එම දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහළ 16 හැවිරිදි වියේ පසුවන සිසුන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කරගෙන ඇත. මොවුන් හැටන් සහ දික්ඔය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හැටන් පොලිසිය මගින් ක්‍රියාත්මකය. මේ එම වෛරල් වූ පහර දීමේ සිද්ධිය ය.







