මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් එල්ල වන ආර්ථික බලපෑම්වලට ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාව ශ්‍රී ලංකාව සතු බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරයි. මේ වනවිට ආර්ථිකයේ පවතින ස්වරූපය සම්බන්ධව මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් මහබැංකු අධිපතිවරයා අද ප්‍රකාශ කළේ විදේශ විනිමය සංචිත ශක්තිමත් වීම හේතුවෙන් මෙම ස්ථාවරත්වය උදා වී ඇති බවය.
මෑත ඉතිහාසයේ වාර්තා වූ ඉහළම සංචිත ප්‍රමාණයක් වන ඇමරිකානු ඩොලර් බිලියන 2.3ක මට්ටමක දැනට සංචිත පවතින බවත්, එමගින් බාහිරින් එන ආර්ථික කම්පනයන් කළමනාකරණය කරගැනීමේ අවකාශය සැලසී ඇති බවත් ඔහු සඳහන් කළේය.
මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළ කරුණු කිහිපයක් මෙසේය:
- බැංකු පද්ධතියේ ස්ථාවරත්වය: දේශීය බැංකු පද්ධතිය තුළ මේ වන විට කිසිදු ගැටලුකාරී තත්ත්වයක් දක්නට නොමැත.
- සංචාරක කර්මාන්තය: යුදමය තත්ත්වයත් සමඟ සංචාරකයින්ගේ පැමිණීම 17%කින් පමණ අඩු වී තිබුණද, විදේශ ප්‍රේෂණවල අඩුවීමක් දක්නට නැත.
- විදේශ ප්‍රේෂණ: පසුගිය දින 15ක දත්ත පරීක්ෂා කිරීමේදී විදේශ ප්‍රේෂණවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි.
- ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව: පසුගිය ආර්ථික අර්බුද සමයට සාපේක්ෂව වර්තමානයේ උද්ධමනය අඩු මට්ටමක පවතින බැවින් ඕනෑම බාහිර බලපෑමකට හැඩගැසීමට රටට හැකියාව පවතී.
පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය වැනි දරුණු කම්පනයන් හමුවේ වුවද ශ්‍රී ලාංකික ජනතාව යථා තත්ත්වයට පත්වීමේ හැකියාව මීට පෙර ප්‍රදර්ශනය කර ඇති බව සිහිපත් කළ අධිපතිවරයා, වත්මන් අර්බුදයටද සාර්ථකව අනුගත වෙමින් ඉදිරියට යා හැකි බව විශ්වාසය පළ කළේය.







