කොවිඩ් සමයේදී එනම් මීට වසර හයකට පෙර අතුරුදන් වූ බවට වාර්තා වූ විවාහක අඹුසැමි යුවළකගේ මළ සිරුරු කොටස් ග්‍රෑන්ඩ්පාස් පොලිස් බල ප්‍රදේශයට අයත් වැල්ලම්පිටිය, කම්බිකොටුව වත්ත ප්‍රදේශයේ ඇළක තිබී ඊයේ (24) සොයාගෙන තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 62 හැවිරිදි වියේ පසුවූ සුනිල් කුමාරසිංහ සහ කමන්දා සිල්වා නැමැති අඹුසැමි යුවළකි. මොවුන් 2020 වසරේ සිට අතුරුදන්ව ඇති බවට ඔවුන්ගේ ඥාතීන් විසින් පොලිසියට පැමිණිලි කර තිබුණි.
මුල් අවධියේදී සිදුකළ විමර්ශනවලින් කිසිදු තොරතුරක් අනාවරණය නොවූ හෙයින්, වින්දිතයන්ගේ පවුලේ සාමාජිකයන් විසින් මේ පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සහය ඉල්ලා සිටින ලදී. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් මත මෙම විමර්ශනය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පවරනු ලැබීය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලෝකුහෙට්ටිගේ උපදෙස් පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.බී. විජේතුංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකදී මියගිය යුවළ පදිංචිව සිටි නිවස අසලම පදිංචිව සිටි තවත් අඹුසැමි යුවළකගෙන් ප්‍රශ්න කර ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරුවන් පාපොච්චාරණය කර ඇත්තේ අදාළ යුවළ ඝාතනය කර, සිරුරු කැබලිවලට කපා අසල ඇති ඇළක වළ දැමූ බවය. මෙම අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකාර අඹුසැමි යුවළ සහ තවත් සහායකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවට ද තොරතුරු හෙළි වී තිබේ.
වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවත්, මියගිය කාන්තාව සතු රන් මාලය සොරාගෙන සිරුරු කැබලි කර වළ දමා ඇති බවත්ය. විවිධ අවස්ථාවලදී සිරුරු කොටස් මතු වූ විට ප්‍රධාන සැකකරු විසින් ඒවා නැවත නැවතත් එම ස්ථානයේම වළ දමා සඟවා ඇති බවද හෙළි වී ඇත.
සැකකරුවන් අපරාධය සිදුකළ ස්ථානයට රැගෙන ගොස් ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර, සොයාගත් සිරුරු කොටස් පිළිබඳව අධිකරණයට වාර්තා කර ඇත. මෙම ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.







