අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග කඩිනමින් විනාශ කිරීමට පවතින නෛතික බාධා ඉවත් කිරීම සඳහා වන නීති සංශෝධන පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අදාළ කමිටුව අතර විශේෂ සාකච්ඡාවක් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
විෂ මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කිරීමේදී රජය කෙරෙහි පවතින මහජන විශ්වාසය තහවුරු කිරීමට නම්, අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග ප්‍රමාදයකින් තොරව විනාශ කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ සඳහා විධිමත් හා කඩිනම් ක්‍රියාවලියක් සකස් කිරීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේය.
මෙම ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා දැනටමත් නීති සංශෝධන කෙටුම්පතක් සකස් කර ඇති අතර, එමඟින් මත්ද්‍රව්‍ය විනාශ කිරීමට ගතවන කාලය තවදුරටත් අවම කරගත හැකි ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස විමසා බලන ලදී.
මීට අමතරව, අධිකරණය, පොලිසිය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණිලි මෙහෙයවීමේදී ඇතිවන බාධා පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් ජයවීර කරුණු පැහැදිලි කළාය.
ජාවාරම්කරුවන්ට නීතියෙන් රිංගා යාමට ඇති ඉඩකඩ අහුරා දැමීම සහ නඩු භාණ්ඩ ලෙස පවතින මත්ද්‍රව්‍ය නැවත සමාජගත වීම වැළැක්වීම මෙම නව නීති සංශෝධනවල ප්‍රධාන අරමුණකි. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් මේ සම්බන්ධයෙන් පොලිසිය ගෙන ඇති පියවර පැහැදිලි කළ අතර, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පහසුකම් වර්ධනය කිරීම ගැනද අවධානය යොමු විය.
අවසානයේදී, යෝජිත පනත් කෙටුම්පත අවශ්‍ය සංශෝධන සහිතව කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට එකඟතාව පළ විය. මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඇතුළු ක්ෂේත්රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.







