උපේක්ෂා උඩුවැරැල්ල-
ඉන්දීය සාගරයේ පිහිටි අතිශය වැදගත් උපායමාර්ගික මධ්‍යස්ථානයක් වන දියේගෝ ගාසියා (Diego Garcia) ඒකාබද්ධ අමෙරිකානු-බ්‍රිතාන්‍ය හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් ඉරානය බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර් විසින් ඉරානයට එරෙහි ප්‍රහාර සඳහා දියේගෝ ගාසියා කඳවුර භාවිතා කිරීමට අමෙරිකාවට අවසර ලබා දී පැය කිහිපයක් ගත වන්නටත් මත්තෙන් වීම විශේෂත්වයකි. ඉරාන ඉලක්ක වෙත එල්ල වන ප්‍රහාරවලට ‘පූර්ව ආරක්ෂිත පිළිතුරක්’ (Preemptive strike) ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව ඉරානයේ ‘මෙහර්’ පුවත් ඒජන්සිය තහවුරු කරයි.
B-2 යානා පැමිණීම සහ ඉරානයේ ක්‍රියාමාර්ගය
පසුගියදා චන්ද්‍රිකා ඡායාරූප මඟින් අනාවරණය වූයේ ලොව දියුණුම රේඩාර් පද්ධති පවා මඟ හැර යා හැකි, ‘අහසේ අවතාර’ ලෙස හැඳින්වෙන අමෙරිකානු B-2 ස්පිරිට් (B-2 Spirit) බෝම්බ හෙලන යානා 03ක් දියේගෝ ගාසියා කඳවුරට ගොඩබස්වා ඇති බවයි. ඉරානයේ භූගත පරමාණුක මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමේ අරමුණින් මෙම යානා රඳවා ඇති බවට සැකකෙරේ.
ටෙලිග්රාෆ් පුවත්පතට අදහස් දැක්වූ ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබුණේ, ට්‍රම්ප්ගේ තර්ජන දැඩි වුවහොත් මෙම දූපතට ප්‍රහාර එල්ල කරන ලෙස ඉරාන හමුදා ප්‍රධානීන්ට උපදෙස් දී තිබූ බවයි.
මිසයිල ප්‍රහාරයේ ස්වභාවය
ඉරාන භූමියේ සිට කිලෝමීටර 4,000කට වඩා දුරින් පිහිටි දියේගෝ ගාසියා ඉලක්ක කර අතරමැදි දුර බැලස්ටික් මිසයිල (IRBM) දෙකක් එල්ල කර තිබේ.
- පළමු මිසයිලය: ගුවනේදී තාක්ෂණික දෝෂයකට ලක්ව විනාශ වී ඇත.
- දෙවන මිසයිලය: අමෙරිකානු යුද නෞකාවකින් එල්ල කළ SM-3 අන්තර්ග්‍රහක මිසයිලයක් මඟින් විනාශ කළ බවට හෝ එයද ඉබේම විනාශ වූ බවට වාර්තා වේ.
ඉරාන නිලධාරීන්ට අනුව, මෙම මිසයිල එල්ල කිරීමේ එක් අරමුණක් වී ඇත්තේ හානියක් කිරීමට වඩා, “අප ඕනෑම අවස්ථාවක සූදානම්” යන පණිවුඩය අමෙරිකාවට ලබා දීමයි.
බටහිර බලවතුන් තැති ගත් ඉරාන තාක්ෂණය
මීට පෙර ඉරානය ප්‍රකාශ කර තිබුණේ තමන් සතු මිසයිලවල පරාසය කිලෝමීටර 2,000කට සීමා කර ඇති බවයි. එහෙත් කිලෝමීටර 4,000ක් පමණ දුරින් පිහිටි දියේගෝ ගාසියා වෙත මිසයිල එල්ල කිරීමෙන් ඉරානය සතු දිගු පරාසයක විහිදුණු මිසයිල ශක්තිය ලොවට ප්‍රදර්ශනය කර තිබේ. මෙය යුරෝපයේ ඕනෑම ඉලක්කයක් වෙත ප්‍රහාර එල්ල කිරීමට ඉරානයට ඇති හැකියාව තහවුරු කරන්නක් බව ආරක්ෂක විශ්ලේෂකයෝ පවසති. ප්‍රහාරය අසාර්ථක වුවද මේ හරහා ඉරානය සිය සතුරු බලවේග වෙත ලබා දි ඇති පණිවිඩය ප්රබලය බව විචාරකයෝ කියති.
අමෙරිකානු බෝම්බ හෙලන යානා, න්‍යෂ්ටික සබ්මැරීන සහ මිසයිල නෞකා රඳවා ඇති දියේගෝ ගාසියා කඳවුර ඉලක්ක වීමත් සමඟ, මැදපෙරදිග කේන්ද්‍ර කරගත් ගැටුම ඉන්දීය සාගර කලාපය දක්වා ව්‍යාප්ත වී ඇති බව පැහැදිලිය.
මේ සම්බන්ධයෙන් අමෙරිකානු ධවල මන්දිරය හෝ බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති වුවද, මෙය කලාපීය ආරක්ෂාවට දැඩි බලපෑමක් එල්ල කරන සන්ධිස්ථානයක් වනු ඇත.







