මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය හදිසි පහසුකම් සැලසීම සඳහා අදාළ රටවල තානාපති කාර්යාල වෙත මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) නිවේදනය කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ ම සඳහන් කළේ, පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට උපරිම පියවර ගෙන ඇති බවයි. කෙසේ වෙතත්, රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් මැදපෙරදිග රටවල් බලා පිටත්ව යාම මෙතෙක් කිසිදු බාධාවකින් තොරව සිදුවන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
පසුගිය පැය 24 තුළ මැදපෙරදිග තත්ත්වය
පසුගිය පැය 24 තුළ ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය වාතාවරණය තවදුරටත් උග්‍ර වෙමින් පවතින අතර, ඉරානය විසින් ඊශ්‍රායලයේ ප්‍රධාන නගර ඉලක්ක කර ගනිමින් එල්ල කළ හැකි දැවැන්ත මිසයිල ප්‍රහාරයක් පිළිබඳ බරපතළ බියක් කලාපය පුරා ව්‍යාප්ත වී තිබේ. මෙම තත්ත්වය හමුවේ අමෙරිකානු ආරක්ෂක අංශ කලාපයට අතිරේක යුද නැව් සහ ගුවන් යානා යෙදවීමට කටයුතු කර ඇති අතර, ඊශ්‍රායලය සිය ආරක්ෂක පද්ධති උපරිම සූදානමකින් තබා ඇති බව වාර්තා වේ.
මේ අතර, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සහ යේමනයේ හූති කැරලිකරුවන් ද සිය ප්‍රහාරක මෙහෙයුම් තීව්ර කර ඇති අතර, එය මැදපෙරදිග සමස්ත සිවිල් ගුවන් ගමන් සහ නාවික ගමනාගමනයට දැඩි බලපෑමක් එල්ල කර ඇත. ලෝක බලවතුන් කලාපීය යුද්ධයක් වැළැක්වීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වෙමින් සිටින නමුත්, ඕනෑම මොහොතක ප්‍රහාරයක් එල්ල වීමේ අවදානම හේතුවෙන් මැදපෙරදිග වෙසෙන විදේශීය ශ්‍රී ලාංකික ඇතුළු සේවකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ.
තානාපති කාර්යාල සීරුවෙන්
ඕනෑම හදිසි අවස්ථාවකදී මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධව මෙහෙයුම් මැදිරියක් ක්‍රියාත්මක කරන අතර, තානාපති කාර්යාල හරහා අවශ්‍ය නවාතැන්, ආහාර සහ සෞඛ්‍ය පහසුකම් සැපයීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය මේ වන විටත් ලබා දී ඇත.







