අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව පවරා ඇති නඩු හතරක තීන්දුව අප්‍රේල් මස 30 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය අද (03) නිවේදනය කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ මෙම නඩුව අද කැඳවනු ලැබීය.
එහිදී නඩුවට අදාළ පාර්ශවයන් විසින් තම වාචික දේශනයන් ඉදිරිපත් කර අවසන් කරන ලදී. ඒ අනුව, අදාළ නඩු හතරේ තීන්දුව අප්‍රේල් 30 වනදා ප්‍රකාශයට පත් කරන බව විනිසුරුවරයා දන්වා සිටියේය.
පසුගිය යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් මෙම නඩු පවරා තිබුණේ 2006 වසරේදීය.
සරණ ගුණවර්ධන ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ, එම ආයතනය සඳහා කුලී පදනම මත වාහන ලබාගැනීමේදී රජයට පාඩුවක් සිදු කළ බවට ඔහුට එරෙහිව මෙහිදී චෝදනා එල්ල වී ඇත.







