කපිල කේ හීනටියන –
යුද්ධය විසින් ඉතිහාසය පමණක් නොව ජාතියක අනන්‍ය සංස්කෘතියේ අග්‍ර ඵල ද ව්‍යසනයට ලක් කරන ආකාරය ලෝකය අප්‍රමාණව අත් විඳ ඇත. තලේබන් ම්ලේච්ඡයින් බාමියන් පිළිම වහන්සේලාට මෝටාර් ගසා කුඩු කරමින් ශිෂ්ඨාචාරයේ ඓතිහාසික පරිච්ඡේදයක් ව්‍යසනයට ලක් කළ ආකාරය වේදනාවෙන් බලා සිටි අතීතයක් අප සතුව ඇත.
මේ රට තුළ දී ද බෞද්ධ පූජනීය ස්ථාන විකල් දේශපාලය විසින් කුළු ගන්වන ලද නූගත් ආගමික අන්තවාදීන් විසින් අත්පත් කරගෙන එහි අනන්‍යතාවය විකෘති කරමින් සිදුකරන ඉතිහාසගත ව්‍යසනයක ස්වරූපය අත් දැක ඇත්තෙමු. මේ සටහන තබන්නේ ඉතිහාසයේ ගෞරවනීය වියමන් කුමණ පරමාර්ථයකින් හෝ ව්‍යසනයට ලක් කිරීම මානව ශිෂ්ඨාචාරයට කරන බරපතල ව්‍යසනයක් බවට වූ අවබෝධයෙන් උපන් වේදනාවෙනි.
2026 මාර්තු 1 වන දින ටෙහෙරානය ඉලක්ක කරගනිමින් ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරවල අතුරු ප්‍රතිඵලයක් ලෙස ඉරානයේ ඓතිහාසික ගොලෙස්තාන් මාලිගයට හානි සිදු විය. මෙම ප්‍රහාර විශේෂයෙන්ම ඉලක්ක කර තිබුණේ මාලිගය අසල පිහිටි අරාග් චතුරශ්‍රය (Arag Square) වෙතය. හානිය සිදු වූයේ මාලිගය වෙත එල්ල වූ සෘජු ප්‍රහාරයකින් නොව, අවට පිහිටි පොලිස් ස්ථානයක් හෝ මෙහෙයුම් මධ්‍යස්ථාන ඉලක්ක කර එල්ල වූ පිපිරීම්වලින් හටගත් කම්පන තරංග (Shockwaves), විසිරී ගිය සුන්බුන් සහ දෝංකාරයන් හේතුවෙනි.


ඉරාන රාජ්‍ය මාධ්‍ය සහ බලධාරීන් වාර්තා කරන පරිදි, මෙම ප්‍රබල කම්පන තරංග හේතුවෙන් මාලිගයේ ජනේල වීදුරු කුඩු වී ගොස් ඇත. ලී දොරවල් සහ සම්ප්‍රදායික පර්සියානු ‘ඕර්සි’ (Orsi) ජනේලවලට හානි සිදු වී තිබේ. අතිශය සංකීර්ණ ලෙස නිමවා ඇති කණ්ණාඩි කැටයම් නිර්මාණ (Ayeneh-kari) ඉරිතලා හෝ කැඩී ගොස්ය. මාලිගයේ අනෙකුත් අලංකාර නිර්මාණාංගවලට ද බලපෑම් එල්ල වී ඇත.
වාසනාවකට මෙන්, සුප්‍රකට කණ්ණාඩි සහිත සිංහාසන මැදිරිය ඇතුළු ස්ථානවල තිබූ සමහර පුරාවස්තු, ආරක්ෂාව සඳහා කල්තියාම සුරක්ෂිතාගාර වෙත ගෙන ගොස් තිබිණි. ඒ හේතුවෙන් විශාල විනාශයක් වළක්වා ගැනීමට හැකි විය. ඉරානයේ සංස්කෘතික උරුමයන් පිළිබඳ අමාත්‍ය රේසා සලේහි-අමිරි (Reza Salehi-Amiri) මෙම සිදුවීම ඉරානයේ සංස්කෘතික අනන්‍යතාවයට එල්ල වූ ප්‍රහාරයක් ලෙස හැඳින්වූයේය. මේ පිළිබඳව යුනෙස්කෝ (UNESCO) සංවිධානය වෙත විධිමත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට මේ වනවිට ඉරානය සැලසුම් කර ඇත.
යුනෙස්කෝ සංවිධානය ද මෙම වාර්තා තහවුරු කර ඇති අතර එම ස්ථානය පිළිබඳව සමීපව නිරීක්ෂණය කරමින් සිටියි. එවැනි හානි වළක්වා ගැනීම සඳහා අදාළ සියලු පාර්ශවයන් වෙත මෙම උරුමයන් පිහිටි ස්ථානවල භූගෝලීය ඛණ්ඩාංක (Coordinates) ලබා දී තිබූ බව ද ඔවුන් අවධාරණය කර තිබිණි.
මූලික තක්සේරුවලට අනුව, වීදුරු සහ ටයිල් වැනි බිඳෙනසුලු ඓතිහාසික අංගවලට හානි වී තිබුණද, මෙම හානිය යථා තත්ත්වයට පත් කළ හැකි මට්ටමේ පවතින බව දැනට වාර්තා වී තිබේ.

ගොලෙස්තාන් මාලිගාවේ ඉතිහාසය සහ පුරාවිද්‍යාත්මක වටිනාකම
‘පුෂ්පයන්ගේ මාලිගය’ ලෙසද හැඳින්වෙන ගොලෙස්තාන් මාලිගයේ (Golestan Palace) ඉතිහාසය 16 වන සියවසේ සෆාවිඩ් (Safavid) රාජවංශය දක්වා දිව යයි. පළමුවන ෂා තහ්මාස්ප් රජු (Shah Tahmasp I – පාලනය 1524-1576) ටෙහෙරානයේ බලකොටුවක් (Arg) ඉදි කළ අතර, මාලිගා පරිශ්‍රයේ මුල්ම ගොඩනැගිලි සහ උද්‍යාන එහි අන්තර්ගත විය. පසුව මහා ෂා අබ්බාස් රජු (Shah Abbas the Great) විසින් විශාල තාප්පයකින් වට වූ උද්‍යානයක් එක් කරමින් එය තවත් පුළුල් කරන ලදී.
1794 දී ආගා මොහොමඩ් ඛාන් විසින් ටෙහෙරානය සිය අගනුවර ලෙස තෝරා ගැනීමෙන් පසු, මෙම මාලිගය කජාර් (Qajar) රාජවංශයේ රාජකීය අසුන බවට පත් විය. 1865 දී නසාර් එඩ්-දින් ෂා (Naser ed-Din Shah) රජුගේ පාලන සමයේදී, ගෘහ නිර්මාණ ශිල්පී හාජි අබ් ඔල් හසන් මීමාර් නවායි (Haji Ab ol Hasan Mimar Navai) අතින් මාලිගය වර්තමාන ස්වරූපය ලැබීය. එහිදී සාම්ප්‍රදායික පර්සියානු මෝස්තර සමඟ යුරෝපීය ආභාසය ද මුසු කරන ලදී.

ඉස්ලාමීය විප්ලවය සහ රාජකීය සජීවී අඛණ්ඩතාවයේ බිඳවැටීම
ගොලෙස්තාන් මාලිගය සියවස් ගණනාවක් පුරා පවත්වාගෙන ආ සජීවී රාජකීය අඛණ්ඩතාවය තීරණාත්මක ලෙස බිඳී යන්නේ 1979 වසරේ සිදු වූ ඉරාන ඉස්ලාමීය විප්ලවයත් සමඟිනි. කජාර් රාජවංශ සමයේ (1794-1925) මෙය ඉරානයේ නිල රාජකීය නිවස මෙන්ම පාලන බලයේ කේන්ද්‍රස්ථානය ලෙස අතිශය ක්‍රියාකාරී මට්ටමක පැවතුණි. පසුව බලයට පත් වූ පහ්ලවි රාජවංශිකයන් සිය දෛනික වාසස්ථානය ලෙස සාදාබාද් වැනි නවීන මාලිගා සංකීර්ණ තෝරා ගත්තද, 1979 දක්වාම ගොලෙස්තාන් මාලිගය රාජ්‍ය මට්ටමේ නිල උත්සව, විදේශ තාන්ත්‍රික පිළිගැනීම් සහ ෂා රජවරුන්ගේ රාජාභිෂේක මංගල්‍යයන් පවත්වන ලද “ජීවමාන” දේශපාලනික සංකේතයක් ලෙස සිය ගාම්භීරත්වය ආරක්ෂා කර ගැනීමට සමත් විය.
කෙසේ වෙතත්, 1979 විප්ලවයත් සමඟ මොහොමඩ් රේසා ෂා රජුට රටින් පිටුවහල් වීමට සිදු වූයේය. ඒ සමඟම වසර 450කට අධික කාලයක් මෙම පරිශ්‍රය සතුව තිබූ “රාජකීය අභිමානය” සහ සජීවී දේශපාලන ක්‍රියාකාරීත්වය මුළුමනින්ම අකර්මන්‍ය විය.
නව ඉස්ලාමීය පාලන තන්ත්රය යටතේ රාජාණ්ඩුව හා බැඳුණු සියලු උත්සව සහ සම්ප්‍රදායන් අත්හිටුවීමත් සමඟ, රජවරුන් සහ රාජකීය සභාව ගැවසුණු මෙම මාලිගය හුදෙක් ගොඩනැගිලි සංකීර්ණයක් බවට පත්වීමේ අවදානමට ලක් විය. මෙය මාලිගාවේ ඉතිහාසය තුළ සජීවී පාලන මධ්‍යස්ථානයක් ලෙස පැවති අඛණ්ඩ ගමන නිමාවකට පත් කළ ප්‍රධානම දේශපාලන සන්ධිස්ථානය ලෙස ඉතිහාසඥයෝ සලකති.
වර්තමානය වන විට ගොලෙස්තාන් මාලිගය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇත්තේ සජීවී මාලිගයකට වඩා “නිශ්චල ස්මාරකයක්” හෝ “ජාතික කෞතුකාගාරයක්” ලෙසිනි.
විප්ලවයෙන් පසු කාලයක් යනතුරු මහජනතාවට තහනම් කලාපයක්ව පැවති මෙය, පසුව ඉතිහාසය විදහා දක්වන කෞතුකාගාරයක් ලෙස විවෘත කිරීමත් සමඟ එහි පැවති “රාජකීය ජීවගුණය” වෙනුවට සංරක්ෂිත පුරාවිද්‍යාත්මක වටිනාකම ඉස්මතු විය. මේ වනවිට ඇමරිකා – ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මේ දෙදරා යන්නේ පර්සියානු ඉතිහාසයේ අතීත ශ්‍රී විභූති ජීවමාන කරන අවසාන සජීවී සලකුණය.
පුරාවිද්‍යාත්මක සහ සංස්කෘතික වැදගත්කම
පුරාවිද්‍යාත්මක සහ සංස්කෘතික වශයෙන් ගොලෙස්තාන් මාලිගය, පූර්ව ඉස්ලාමීය, ඉස්ලාමීය සහ යුරෝපීය අංගයන්ගේ සංකලනයක් ලෙස පර්සියාවේ ඓතිහාසික පරිණාමය විදහා දක්වන අමිල උරුමයකි. කජාර් යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ මනා නිදසුනක් වන මෙහි, සංකීර්ණ කණ්ණාඩි කැටයම්, ටයිල් මොසෙයික් නිර්මාණ, බිතුසිතුවම් මෙන්ම කිරිගරුඬ සිංහාසනය (Marble Throne), කණ්ණාඩි ශාලාව (Mirror Hall) සහ වින්ඩ්කැචර් මන්දිරය (Windcatcher Mansion) වැනි සුවිශේෂී නිර්මාණ දැකිය හැකිය.
මෙහි ඇති කෞතුකාගාරවල 18-20 සියවස්වලට අයත් පුරාවස්තු, යුරෝපීය තෑගි සහ 19 වන සියවසේ ලොව මුල්ම ඡායාරූප ලේඛනාගාරයක් ද අන්තර්ගත වේ. 2013 වසරේදී මෙය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ඒ සඳහා හේතු වූ කරුණු කිහිපයකි. එකක් නම් පෙරදිග සහ අපරදිග කලා හා ගෘහ නිර්මාණ ශිල්පයේ සංකලනය මේ වාස්තු නිර්මාණයන්ගෙන් ප්‍රකට වීමය. එමෙන්ම 19 වන සියවසේ පර්සියානු සමාජයේ නවීකරණය නිරූපණය කරන අපූර්ව ප්රකාශනයක් ලෙස මෙම මාලිගාව සැලකීමය. තෙවැන්න කජාර් යුගයේ විශිෂ්ට කලාත්මක ජයග්‍රහණයක් ලෙස මෙම වාස්තු විද්‍යාත්මක උරුමය සම්භාවනාවට පාත්‍ර වී වීමය.
හෙක්ටයාර 5.3ක ප්‍රධාන කලාපය සහ හෙක්ටයාර 26.2ක ආරක්ෂිත කලාපය 1930 සිට ඉරානයේ ජාතික උරුම නීති යටතේ මෙම උරුමය ආරක්ෂා විය. සෆාවිඩ් සහ කජාර් ඉතිහාසයේ විවිධ ස්ථරයන් මෙම මාලිගය තුළ ගැබ්ව ඇති බැවින්, ඉරානයේ රාජකීය සහ සංස්කෘතික අතීතය වටහා ගැනීමට ඇති ප්‍රධානතම පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය ගොලෙස්තාන් මාළිගාව ය.

ප්‍රහාරයේ නිශ්චිත අරමුණ සහ ජාත්‍යන්තර ප්‍රතිචාර
ගොලෙස්තාන් මාලිගය මෙම ප්‍රහාරයේ සෘජු ඉලක්කය වූ බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් ලැබී නොමැත. එය දකුණු ටෙහෙරානයේ පිහිටි උපායමාර්ගික හෝ මිලිටරිමය මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන අරාග් චතුරශ්‍රය (Arag Square) වෙත එල්ල වූ ප්රහාරයන්හි අහඹු අතුරු ප්‍රතිඵලයක් (Collateral damage) බව පෙනෙන්නට තිබේ. කලාපීය ගැටුම් උත්සන්න වන පසුබිමක, ඉරානයේ මිසයිල සහ අණදෙන මධ්‍යස්ථාන වෙත එල්ල කළ ‘පූර්ව ආරක්ෂිත’ (Preemptive) ප්‍රහාරයක් ලෙස ඇමරිකානු සහ ඊශ්‍රායල පාර්ශව මෙම මෙහෙයුම හඳුන්වා දී ඇත.
කෙසේ වෙතත්, සන්නද්ධ ගැටුම් පවතින අවස්ථාවලදී සංස්කෘතික දේපළ ආරක්ෂා කිරීම පිළිබඳ 1954 හේග් සම්මුතිය (1954 Hague Convention) වැනි ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් සංස්කෘතික ස්ථාන අනතුරේ හෙළීම පිළිබඳව ඉරාන බලධාරීන් සහ යුනෙස්කෝව ප්‍රහාරක ඇමරිකා – ඊශ්‍රයාල කඳවුරට දැඩි විරෝධය පළ කර තිබේ. මේ ව්‍යසනකාරී ප්‍රහාර සිද්ධ වන්නේ යුනෙස්කෝව විසින් උරුම ස්ථානවල පිහිටීම කල්තියා ප්‍රහාරක කඳවුර වෙත ලබා දී තිබිය දී වීම යුනෙස්කෝවේ කනස්සල්ල වැඩි වී තිබේ.
යථාර්ථ යනම් මහා යුධ බලයක් සහිතව ලෝකය කේන්ද්‍රීය බලය අත් කරගැනීමේ පිපාසයෙන් යුතු ඇමරිකා එක්සත් ජනපදය මෙන්ම ලෝක සිතියමේ ළදරුවෙක් වූ ඇමරිකානු දඩ බල්ලා බඳු ඊශ්‍රයාලය ද මහා සංස්කෘතියක අඛන්ඩතාවය හමුවේ ලිලිපුට්ටන්ය. ඉරාණයේ ගැඹුරු පදනම් පෞරුෂය ජාතියක් ලෙස ඔවුන් රක්ෂා කරනතාක් කල් පෙරදිග ශිෂ්ඨාරයේ දැවැන්ත ආලෝක දහරාවක් සහිතව ඔවුන් පවතිනු ඇත.







