විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ (Super Round) මංගල තරගය ලෙස ඊයේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතව තිබූ පකිස්ථාන නවසීලන්ත තරගය වර්ෂාවට සේදී ගියා සේම අද සවස තුනට පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාව සහ එංගලන්ත තරගයත් වර්ෂාවට හේදී යෑමේ අවදානමක් ගැන අමිහිරි පුවතක් කාලගුණ විශ්ලේෂණ වාර්තා ඉදිරිපත් කර තිබේ.
තරගය පැවැත්වෙන කාල සීමාව තුළ වර්ෂාවෙන් දැඩි බාධා එල්ල විය හැකි බවට කාලගුණ පුරෝකථනයන් මේ වනවිට පල වෙමින් ඇත.
පස්වරු 3:00 ට ආරම්භ වී රාත්‍රී 7:00 ට පමණ අවසන් වීමට නියමිත මෙම තරගය, සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ වත්මන් ලෝක ශූර එංගලන්තය අතර පැවැත්වෙන ප්‍රබල ගැටුමකි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ජාත්‍යන්තර කාලගුණ ආයතන කිහිපයක්ම අද දිනයේ පල්ලේකැලේ ප්‍රදේශයට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇත. මේ හේතුවෙන් තරගයේ පන්දු වාර සංඛ්‍යාව අඩු වීමට හෝ ඩක්වර්ත් ලුවිස් න්‍යායට (DLS Method) අනුව තරග ප්‍රතිඵලය තීරණය වීමට වැඩි ඉඩකඩක් පවතී. තත්ත්වයේ ආන්තික ප්‍රතිඵලය ඊයේ සිදුවූවාක් මෙන් තරගය අත්හැර දැමීමට සිදුවීමය.
-
දේශීය සහ ජාත්‍යන්තර අනාවැකි
ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදේ ප්‍රකාශ කර ඇති කාලගුණ පුරෝකථනයට අනුව මධ්‍යම පළාතේ බොහෝ ස්ථානවලට, විශේෂයෙන්ම පල්ලේකැලේ ක්‍රීඩාංගණය පිහිටි මහනුවර දිස්ත්‍රික්කයට පස්වරු 1:00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. එම කාලගුණ අනාවැකිය පෙන්වා දෙනනේ මධ්‍යම පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින් එළිමහන් කටයුතුවලදී සැලකිලිමත් වන ලෙසය.
Yr.no (නෝර්වේ කාලගුණ ආයතනය) විසින් ඔවුන්ගේ වාර්තාවලට අනුව පෙන්වා දෙන්නේ පෙරවරුවේ පවතින වැසි සහිත තත්ත්වය පස්වරුව වන විට තද වර්ෂාපතනයක් දක්වා වර්ධනය විය හැකි බවය. එම වාර්තාව අනුව අද දිනයේ පල්ලේකැලේ ප්‍රදේශයට මිලිමීටර් 9.4 ක වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ.
BBC කාලගුණ පුරෝකථනයන්ට අනුව අද දවස පුරාම මහනුවර ප්‍රදේශයට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ප්‍රදේශයේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 ක් ලෙසත්, පැයට සැතපුම් 4 ක වේගයෙන් බටහිර දෙසින් මඳ සුළඟක් හැමිය හැකි බවත් එහි තව දුරටත් වාර්තා කරයි.
-
පැයෙන් පැයට කාලගුණ විපර්යාසය:
‘ද වෙදර් චැනල්’ (The Weather Channel) වාර්තාව
කාලගුණ දත්ත විශ්ලේෂණය කරන ‘ද වෙදර් චැනල්’ ආයතනය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පවතින තත්ත්වය පිළිබඳව පැයෙන් පැයට සිදුකර ඇති පුරෝකථනය මෙසේය:
- පස්වරු 3:00 (තරගය ආරම්භය): වර්ෂාව ඇති වීමේ හැකියාව 52% කි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 ක් පමණ වන අතර ආර්ද්‍රතාවය 89% ක් ලෙස සටහන් වේ. පැයට සැතපුම් 7 ක වේගයෙන් මඳ සුළඟක් හැමිය හැකි අතර වර්ෂාපතනය අඟල් 0.01 ක් ලෙස අපේක්ෂා කෙරේ.
- පස්වරු 4:00: වැසි සහිත තත්ත්වය තවදුරටත් පවතින අතර එහි සම්භාවිතාව 49% කි. වර්ෂාපතනය අඟල් 0.03 ක් දක්වා ඉහළ යා හැක.
- පස්වරු 5:00: වර්ෂා සම්භාවිතාව 47% ක් වන අතර උෂ්ණත්වය සෙල්සියස් අංශක 24 දක්වා සුළු වශයෙන් පහත බසිනු ඇත. ආර්ද්‍රතාවය 92% ක් දක්වා ඉහළ යන අතර වර්ෂාපතනය අඟල් 0.03 ක් ලෙස පුරෝකථනය කර ඇත.
- පස්වරු 6:00: වර්ෂා සම්භාවිතාව 33% දක්වා අඩු වීමේ ලක්ෂණ පෙන්වන අතර ආර්ද්‍රතාවය 95% කි.
- පස්වරු 7:00 (තරගය අවසන් වන වේලාව): අහස වළාකුළින් බරව පැවතුණද, වර්ෂාව ඇති වීමේ ඉඩකඩ 18% ක් දක්වා අවම වේ. සැලකිය යුතු වර්ෂාපතනයක් අපේක්ෂා නොකෙරේ.
මීට අමතරව, ‘වර්ල්ඩ් වෙදර් ඔන්ලයින්’ (World Weather Online) ආයතනය ද පවසන්නේ පස්වරු 3:00 සහ 6:00 කාල සීමාව තුළ මිලිමීටර් 0.1 සිට 0.2 දක්වා වූ වැසි තත්ත්වයක් ඇති විය හැකි බවයි.
-
තරගයේ තීරණයට එල්ල වන බලපෑම
සන්ධ්‍යා කාලය වන විට වර්ෂා සම්භාවිතාව අඩු වුවද, තරගයේ මුල් භාගය වර්ෂාව ඇති වීමේ වැඩි අවදානමක් පවතින කාල සීමාව සමඟ සමපාත වේ. මේ හේතුවෙන් තරගය ආරම්භ කිරීම ප්‍රමාද වීමට, පන්දු වාර සංඛ්‍යාව අඩු කිරීමට හෝ තරගය අත්හැර දැමීමට පවා සිදුවිය හැකිය.
පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ කාර්ය මණ්ඩලය වර්ෂාවට මුහුණ දීම සඳහා අවශ්‍ය ආවරණ සහ ජලය ඉවත් කරන යන්ත්‍ර සමඟ සීරුවෙන් සිටියද, දිගින් දිගටම වැසි ඇද හැලුණහොත් එය තරගයේ ප්‍රතිඵලයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.
තරගය සම්බන්ධයෙන් විකල්ප සැලසුම් පිළිබඳව ක්‍රිකට් බලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නැත. කෙසේ වෙතත්, කණ්ඩායම් දෙකම තරගාවලියේ ඉදිරියට යාම සඳහා මෙම ජයග්‍රහණය අපේක්ෂා කරන බැවින්, වර්ෂාව හේතුවෙන් තරගය කෙටි වීම ප්‍රසාද ලකුණු සටහනට සහ ශුද්ධ ලකුණු වේගයට (Net Run Rate) තීරණාත්මක බලපෑමක් ඇති කරනු ඇත.
කෙසේ වෙතත් පොදුවේ වර්ෂාව ඇතිවීමේ සම්භාවිතාව දැනට පනහට පනහකි. ක්‍රීඩා ලෝලී අපටත් සියයට 50ක් අවස්ථාවක් තිබේ. ඒ සියයට 50 සම්බන්ධව පූර්ණ විශ්වාසය තබා පසුවෙමු. එමෙන්ම මෙම වාර්තාව අද උදෑසන පවතින නවතම කාලගුණ දත්ත මත පදනම් වූවක් වන අතර තත්ත්වය වෙනස් වීමේ අවස්ථාවක් ද තිබේ. එය අපේ පැත්තට තබා බලාපොරොත්තු සහගතව පසුවෙමු.
පකිස්ථාන – ඉන්දියා තරගය සේදී යනු ඇතැයි කාලගුණ අනාවැකි කීවේ වර්ෂාව පතිත වීමේ අවදානම සියයට 90 දක්වා වූ අවදානමක් පෙන්වීමෙනි. එහෙත් එක් වැසි පොදක් හරස් නොවී ඉන්දියා පකිස්ථාන තරගය කොළඹ අහස යට පැවැත්වුනේය. මේ මොහොත ඒ සුබවාදී අත්දැකීම් සිහි කරගත යුතු මොහොතක් බව විශ්වාස කරමු.







