රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ “පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත” (Protection of Occupiers Bill) සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගතය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් ගොනු කර තිබූ පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මෙම කරුණු ඉදිරිපත් කළේය.
පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් පෙබරවාරි 03 වනදා සිට මාසයක කාලයක් ලබා දී ඇති බව රජය ප්‍රකාශ කළේය.
රජයේ මෙම තීරණය සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය, පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම් විභාගය අවසන් කිරීමට තීන්දු කළේය.
මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් වූ දින සිට නීතිඥ සංගම්, සිවිල් සංවිධාන සහ නිවාස හිමියන්ගේ පාර්ශ්වයෙන් දැඩි විවේචන එල්ල විය. එම විවාදාත්මක කරුණු අතර ප්‍රධාන වන්නේ අයිතිකරුගේ අයිතිය සීමා වීමය.
දැනට පවතින නීතිය යටතේ නිවසක හෝ දේපළක හිමිකරුවෙකුට තම පරිශ්‍රය නිදහස් කර ගැනීමට ඇති නෛතික බලය මෙමගින් සීමා වන බවට තර්ක මතු විය.
බලහත්කාරී පදිංචිකරුවන්ට රැකවරණය ලැබීම මෙහිදී මතුවුන තවත් කරුණක් වූයේය. කුලී පදනම මත සිටින හෝ වෙනත් ආකාරයකින් දේපළක පදිංචිව සිටින පුද්ගලයින්, කාලය අවසන් වූ පසුවත් ඉවත් කිරීමට හිමිකරුට ඇති බාධා මෙම පනතින් වැඩි වන බව විචාරකයෝ පෙන්වා දුන්හ.
අධිකරණ බලය සීමා වීම ද ගැටලුවක් ලෙස මතු වූයේය. ඇතැම් ගැටලු විසඳීම සඳහා පොලිසියට හෝ වෙනත් ආයතනවලට අසීමිත බලතල හිමිවීම තුළින් අධිකරණ ක්‍රියාවලිය මඟහැරී යා හැකි බවට නීති ක්ෂේත්රයේ ප්‍රවීණයෝ බිය පළ කළහ.
එමෙන්ම පනතේ ඇතැම් වගන්ති මගින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සහ දේපළ අයිතිය උල්ලංඝනය වන බව පෙත්සම්කරුවන්ගේ ප්‍රධාන තර්කය විය.
රජය ප්‍රකාශ කර තිබුණේ නිසි ක්‍රමවේදයකින් තොරව පදිංචිකරුවන් ඉවත් කිරීම වැළැක්වීම සහ ඔවුන්ට මානුෂීය රැකවරණයක් සැලසීම මෙහි අරමුණ බවයි. කෙසේ වෙතත්, එය දේපළ හිමිකරුවන්ගේ අයිතියට එල්ල කරන තර්ජනයක් ලෙස පොදුවේ හඳුනා ගැනිණි.







