මහනුවර නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට ස්ථිර විසඳුම් ලබාදෙමින් ක්‍රියාත්මක කෙරෙන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති දෙකක වැඩකටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (06) ආරම්භ කෙරිණි.
මහයියාව උමං මාර්ගයේ ඉදිකිරීම් ඇරඹීම සහ වසර කිහිපයක් ඇණහිට තිබූ ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීම මින් ප්‍රධාන වේ.
මෙම සංවර්ධන ව්‍යාපෘති යටතේ මහයියාව උමං මාර්ගය දින 273කින් අවසන් කිරීමට සැලසුම් කර තිබේ. මහනුවර – යාපනය (A009) ප්‍රධාන මාර්ගයේ මහයියාව මංසන්දිය ආශ්‍රිතව පවතින වාහන තදබදය අවම කිරීම වෙනුවෙන් මෙම නව උමං මාර්ගය සැලසුම් කර ඇත.
ඒ සඳහා දරන ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 699.6කි. උමගේ වැඩ අවසන් කිරීමට නියමිත කාලය අද සිට දින 273කි. මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණි ජනාධිපතිවරයා උමං මාර්ගයේ සැලැස්ම නිරීක්ෂණය කළ අතර, එහි රැස්ව සිටි මහජනතාව සමග සුහද පිළිසඳරකද නිරත විය.
අනතුරුව ජනාධිපතිවරයා අද පස්වරුවේ ගැටඹේ ගුවන් පාලම යළි ආරම්භ කිරීමේ වැඩසටහනට එක් විය. මෙම ගුවන් පාලම ඉදිවන්නේ දේශීය අරමුදල් යටතේය.

ගැටඹේ ගුවන් පාලම වසර 2021 දී හංගේරියානු රජයේ ණය ආධාර මත ආරම්භ කළද, පසුගිය ආර්ථික අර්බුදය හේතුවෙන් වැඩ කටයුතු ඇණහිටියේය. මෙහි ප්‍රධාන පාලමේ දිග මීටර් 374කි. අතුරු පාලමේ දිග මීටර 172කි. විලියම් ගොපල්ලව මාවත ඔස්සේ දුම්රිය මාර්ගයට සහ ගැටඹේ මංසන්දියට ඉහළින් මෙම ගුවන් පාලම විහිදෙනු ඇත.
ඉදිකිරීම සඳහා මුළු ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 12.27කි. එම මුදල් වෙන් වන්නේ මුලින් කී ලෙසම දේශීය අරමුදල්වලිනි. සැලසුම්ගත කර ඇත්තේ මාස 22කින් මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහාය.
මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන මීටර් 6.5ක් පළල අතුරු ගුවන් පාලම හේතුවෙන් මහනුවර සිට පේරාදෙණිය දක්වා විලියම් ගොපල්ලව මාර්ගයේ ගමන් කරන වාහනවලට දුම්රිය හරස් මාර්ගය මඟහැර බාධාවකින් තොරව ගමන් කිරීමට අවස්ථාව හිමි වේ.
මෙම අවස්ථා දෙක සඳහාම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තනුර ඇතුළු මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
මහනුවර නගරයට පිවිසෙන සහ පිටවන ප්‍රධාන මාර්ග පද්ධතියේ මෙම නව වෙනස්කම් හරහා ඉදිරි වසර දෙක ඇතුළත නගරයේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශාල පිම්මක් අපේක්ෂා කෙරේ.







