ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද ‘ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව’ අද (04) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී උපන් ගම් ප්‍රදේශය වන ගුජරාට් ප්‍රදේශයේ ඓතිහාසික දෙව්නිමෝරි භූමියේදී 60 දශකයේදී සිදු කරන ලද කැණීම්වලින් සොයා ගන්නා ලද බුදුරජාණන් වහන්සේගේ මෙම ශාරීරික ධාතුන් වහන්සේ මෙතෙක් ඉන්දියාවෙන් පිටතට වැඩම කර නොමැත.
පසුගියදා සිදු වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ශාරීරික ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව මෙරට ජනතාවට උදාකර දී තිබේ.
අද (04) ප.ව 1.00ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට වැඩම කරනු ලබන ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවීමට නියමිතය.
ජනාධිපතිවරයා විසින් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය සිදු කිරීමත් සමඟ මෙරට ජනතාවට මෙම ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ අවස්ථාව උදා වේ.
ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව හෙට (05) සිට පෙබරවාරි 11 වනදා දක්වා දින හතක කාලයක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත් වේ.
ඓතිහාසික දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතුන්වහන්සේ ගැන හැඳින්වීමක්
1960 සහ 1963 අතර ගුජරාටයේ ෂම්ලාජි අසල දෙව්නි මෝරි ස්ථානයේ දී බරෝඩා හි මහාරාජා සයාජිරාඕ විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥයින් විසින් සිදුකරන ලද පුරාවිද්‍යාත්මක කැණීමක දී මෙම ධාතූන්වහන්සේ සොයා ගෙන තිබිණි.
මෙම සර්වඥ ධාතූන්වහන්සේ බ්රාහ්මී අක්ෂර සෙල්ලිපියක් සහිත හරිත ෂිස්ට් කරඬුවක් තුළ හමු විය. “දශබල ෂරීර නිලය” යන වැකිය එහි සටහන්ව තිබිණි. එහි තේරුම “බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු වාසස්ථානය” යන්නය.
ෂිස්ට් කරඬුව තඹ පෙට්ටියක් තුළ ආරක්ෂා තිබිණි. එහි ශුද්ධ අළු, සේද රෙදි සහ පබළු රඳවා තිබූ රන් ආලේපිත රිදී-තඹ බෝතලයක් ද අඩංගු විය.
මෙම ධාතූන්වහන්සේ හමුවන්නේ ක්‍රි.ව. 3 වන හෝ 4 වන සියවස දක්වා දිවෙන විශාල මහාස්තූපයක් තුළ වැඩ හිඳවා තිබියදී ය. එම කැනීම් සිදුකරනු ලබන්නේ සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා කළ ගවේෂණයක අනිවාර්ය සාධයක් ලෙසය. මේෂ්වෝ ගංගා වේල්ල හේතුවෙන් මෙම ස්ථානය දැන් බොහෝ දුරට ජලයෙන් යට වී ඇත.
මෙම ධාතූන්වහන්සේ තැන්පත් කර ඇත්තේ බරෝඩා හි මහාරාජා සයාජිරාඕ විශ්ව විද්‍යාලයේ ය. උන්වහන්සේලාගේ භාරකාරත්වය ඇත්තේ එම සරසවියටය.







