ලලිත් චාමින්ද –
“මාව බෝට්ටුවේ විල් රූම් එක ඇතුළට ගත්තා. ඒ සමග පිටිපස්සෙන් එක් අයෙකු එකපාරටම මාව අල්ලා ගෙන පහර දුන්නා…”
ධීවර රැකියාව සඳහා පිටත්ව ගොස් සිටියදි ගැඹුරු මුහුදු තිරයේ දී කිසියම් පරිසකගේ පහරකෑමට ලක්වු ධීවර කාර්මිකයකු වන ෂෙවාන් තිවංක ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ දි අපට කීවේය.
එතැන් සිට ඔහු කියන්නේ බිහිසුණු කතාවකි.

“29 වැනි දා උදේ 6..30ට විතර ඇති… අපි අවදිවෙලා ඉන්න වේලාවේ අපේ බෝට්ටු දෙක ඉස්සරහට නැවක් ආවා. නැව දාලා බෝට්ටු දෙක හරස් කළා. බෝට්ටු නතර කරන්න කිවා. බෝට්ටු දෙක අපි නතර කළා. අපි හිතුවේ නාවික හමුදාවෙන් කියලා. අපි බෝට්ටු දෙක නතරකරගෙන හිටියා”.
“අපි ළඟට එනකොට දැක්කේ කුඩා බොට්ටුවල ඉන්දියන් කොඩිය ගහලා තිබුනා. ලංකාවේ මුහුදු තිරයේ ඉන්දියානු බෝට්ටුවක් තියෙන්න විදියක් නැහැ . ඒ අය අපේ බොට්ටුවලට නැගලා බෝට්ටු පරික්ෂා කළා. ඊට පසු තව කට්ටිටක් බෝට්ටුවට නැග්ගා. මාව බෝට්ටුවේ විල් රූම් එක ඇතුළට ගත්තා. ඉන්දියින් කථාකරපු අය අතරේ සිංහලෙන් කථා කරණ අයෙකුත් නැවේ හිටියා. මාව පිටිපස්සෙන් එක් අයෙක් අල්ලගෙන එකපාරටම අල්ලා ගෙන පහරදුන්නා යැයි” . ෂෙවාන් තිවංක කිවේය.
පහර කෑමට ලක්ව ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් ධීවර කාර්මිකයකු ඒ සිද්ධිය විස්තර කරමින් මෙසේ කීවේය.

“දෙසැම්බර් 23 වැනිදින තමයි අපි රැකියාවට ගියේ. ජනවාරි 20 වැනිදා ගොඩබිමට එන්න පටන්ගත්තා. 29 වැනිදින තමයි අපිව අල්ලාගත්තේ. අපිව පරික්ෂා කරලා බෝට්ටුවේ විස්තර බැලුවා. ඉරාන බෝට්ටුවක් දැක්කාද කියලා ඇසුවා. අපි කිවා දැක්කේ නැහැ කියලා. උඹලා කුඩු ගහනවා නේද කුඩු තියෙනවාද කියලා ඇසුවා. අපි ළග කිසිම දෙයක් නැහැ කියලා කිව්වා. නමුත්ඒ අය අපි කියපු කථාව පිළිගත්තේ නැහැ. සැටලයිට් දුරකථකයක් තියෙනවාද කියලා ඇහුවා. අපිට පහරදෙන්න ගත්තා. බිම දාගෙන ගහන්න ගත්තා.” යැයි හෙතෙම කිවේය.
බහුදින යාත්‍රා දෙකකින් ධීවර රස්සාව සඳහා පිටත්ව ගොස් සිටි ධීවරයින් අතුරින් ධීවර කාර්මිකයින් සිව්දෙනෙකු කිසියම් පිරිසකගේ පහර කෑමට ලක්ව ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති. මෙම ධීවරකාර්මිකයින් ඉකුත් වර්ෂයේ (2025) දෙසැම්බර් මස 03 වැනිදින වෙන්නප්පුව ධීවර වරායෙන් ධීවර රස්සාව සඳහා පිටත්ව ගොස් තිබුණි.

මෙම ධීවරයින් පිරිස ජනාවාරි මස 29 වැනිදින ගැඹුරු මුහුදු තීරයේ හරහා නැවත ගොඩබිම වෙත පැමිණෙමින් සිටියදී යාත්‍රාවකින් පැමිණි කණ්ඩායමක් විසින් ධීවර කාර්මිකයින් සිටි බහුදින යාත්‍රාව පරික්ෂාකරමින් ධීවර කාර්මිකයින් හට පොලුවලින් හා අතින් පයින් පහරදී ඇත.
පහරදිමෙන් තුවාල ලැබු ධීවර කාර්මිකයින් සිව් දෙනෙකු නාවික හමුදාව විසින් දක්ෂිණ නාවික හමුදා කඳවුර වෙත රැගෙන විත් කරාපිටිය ජාතික රෝහල වෙත ඇතුළත්කොට ඇත. ධීවර කාර්මිකයින් සිව් දෙනා කරාපිටිය ජාතික රෝහලේ 58 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබති.
තුවාල ලබා ඇති ධීවර කාර්මිකයින් වයස අවුරුදු 50,30,40, සහ 31වැනි වයස් කාණ්ඩවල පසුවන අයවෙති. තුවාල ලබා ඇත්තේ වර්ණකුලසුරිය සුරංග නිෂාල් පිරිස්, කුඩාමඩුවැල්ල, තුඩුවාව, ෂෙවාන් තිවංක මහැවව, මාරවිල වර්ණකුලසුරිය සුරේෂ් ප්‍රනාන්දු, කුඩාමඩුවැල්ල, තුඩුවාව, හබරා බටුවත්තගේ ඉන්දික මධුසංඛ ප්‍රනාන්දු, කුඩාමඩුවැල්ල, තුඩුවාව යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

ශ්‍රිලංකා නාවික හමුදාවට සහ විදේශිය කටයුතු අමාත්‍යංශයට මේ පිළිබදව කඩිනමින් සොයාබලන ලෙස දැනුම් දි ඇති බැව් ධීවර හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසයි.
මෙම පහරදිම සිදුකොට ඇත්තේ මෙරට කණ්ඩායමක්ද විදේශීය රටක කණ්ඩායමක්ද, නිල හා නොනිල කණ්ඩායමක්ද යන්න පිළිබඳ තොරතුරු කඩිනමින් ලබාදෙන ලෙස විදේශීය කටයුතු අමාත්‍යංශය හා නාවික හමුදාව දැනුවත්කොට ඇති බවද හෙතෙම පවසයි.
පහරකෑමට ලක්වු ධීවර කාර්මිකයින්ගේ තොරතුරු සොයාබැලීම සඳහා නියෝජ්‍ය ඇමතිවරයා ගාල්ල කරාපිටිය ජාතික රෝහලට පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව සදහන් කළේය.
මේ ලිපියත් කියවන්න…
ඉන්දීය වෙරළාරක්ෂකයින් ශ්‍රී ලංකා ධීවරයින්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධව රජයේ දැඩි විරෝධය !







