ඉඳුනිල් කහටපිටිය –
අද රටට වැදගත් දිනයක් වනු ඇති බව පෙනේ. හිටපු ජනාධිපතිගේ බිරිය ශිරන්ති රාජපක්ෂ මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබේ. ඔහුගේ වැඩිමහල් පුතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. එමෙන්ම වසරකට ආසන්න කාලයක් ඇදි ඇදි ගොස් ව්‍යවස්ථා දායක සභාවේ පා පන්දුවක් බවට පත්ව තිබූ රටේ විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා අලුතින් පත් වූ සිවිල් ක්‍රියාකාරිකයින්ද සහිත ව්‍යවස්ථා දායක සභාව අද පාර්ලිමේන්තුවේ දී රැස් වේ. ජනාධිපතිවරයා පස්වන වරටත් ඉදිරිපත් කළ නාම යෝජනාවට අදවත් ව්‍යවස්ථා දායක සභාවේ අනුමැතිය ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.
නාමල් සීඅයිඩී කැඳෙව්වේ ඇයි?
මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පත්මේ සමග සමීප සම්බන්ධතා පැවැත්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම නාමල් රාජපක්ෂ මහතා අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවට කැඳවා ඇත්තේය.
මෙම කැඳවීම හදිසි තීරණයක් නොව, පසුගිය කාලසීමාව පුරා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයකි.
කෙහෙල්බද්දර පත්මේ සමග ඉතා සමීප සම්බන්ධතා පැවැත්වූ බව කියන ප්‍රබල දේශපාලනඥයන් 6 දෙනකු ද ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ඉදිරි දින කීපයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීමට නියමිත බව පොලිසිය කියන්නේය. ඒ අතර දේශපාලනඥ කාන්තාවක ද සිටින බව වාර්තා වේ.
සිදුවෙමින් ඇති විමර්ශනවලදී හෙළිවන කරුණු අනුව එම සියලුම දේශපාලනඥයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරියේ දී කැඳවනු ඇත. නාමල්ගේ පැමිණීම ඉන් එක් අවස්ථාවක් සලකුණු කර තිබේ. පද්මේ සමග ඉතාම සමීප සම්බන්ධතා ගොඩනගාගෙන සිටි මෙම දේශපාලකයින් ඔහු සමග මූල්‍ය ගනුදෙනු කර තිබේ ද, මේ අපරාධ ජාලය තුළ ඔවුන්ගේ යම් කිසි සම්බන්ධතාවයක් පවතී ද යන්න විමසීම මෙම කැඳවීමේ පරමාර්ථය ය.
විමර්ශනයට පසුබිම් වූ කරුණු
“කෙහෙල්බද්දර පත්මේ” නමැති සැකකරුගේ දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේදී නාමල් රාජපක්ෂ සහ ඔහු අතර සබඳතාවක් පැවති බවට තොරතුරු අනාවරණය වී ඇති බව වාර්තා වේ.
සැකකාර ජාවාරම්කරුගේ බැංකු ගිණුම් වාර්තා සහ වත්කම් පරීක්ෂා කිරීමේදී, දේශපාලන අනුග්‍රහය ලබාගැනීම වෙනුවෙන් යම් හුවමාරුවක් සිදුව ඇත්දැයි යන්න පිළිබඳව රහස් පොලිසිය අවධානය යොමු කර ඇත.
මීට පෙර අත්අඩංගුවට ගත් “පත්මේ” ගේ සමීපතමයින් ලබාදුන් ප්‍රකාශ මත පදනම්ව මෙම ප්‍රශ්න කිරීම් සිදු කෙරේ.
මින් පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ සඳහන් කළේ ඕනෑම විමර්ශනයකට සහාය දීමට තමන් සූදානම් බවයි. දේශපාලන පළිගැනීම් හෝ මඩ ගැසීමේ ව්‍යාපාරයක් ලෙස මෙය හැඳින්වීමට ඔහුගේ පාර්ශවය උත්සාහ කළද, විමර්ශන නිලධාරීන් අවධාරණය කරන්නේ මෙය තනිකරම අපරාධ නීතිය යටතේ සිදුකරන ක්‍රියාවලියක් බවයි.
කෙහෙල්බද්දර පද්මේ යනු මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනීම් රැසකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකි. ප්‍රබල දේශපාලන රැකවරණය යටතේ මොහු තම ජාලය මෙහෙයවා ඇති බවට කලක සිට සැක කෙරිනි.
මෙම ප්‍රශ්න කිරීම හරහා මත්ද්‍රව්‍ය ජාලය සහ මෙරට දේශපාලන අධිකාරිය අතර පවතින “අපරාධකාරී සහජීවනය” (Criminal-Political Nexus) බිඳ දැමීමට හැකිවනු ඇතැයි නීතිය ක්‍රියාත්මක කරන ආයතන විශ්වාසය පළ කරයි.
“කෙහෙල්බද්දර පද්මේ ” නමැති පුද්ගලයා පෞද්ගලිකව හඳුනන්නේද?, ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව දැන සිටියේද?, ඔහු සමඟ පැවැත්වූ සබඳතාවයේ ස්වභාවය කුමක්ද? දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙසද නැතහොත් පෞද්ගලික මිතුරෙකු ලෙසද? යන්න පිළිබඳව නාමල් රාජපක්ෂගෙන් විමර්ශකයින් විමසීම සිදුකරනු ඇත.
එමෙන්ම නාමල් රාජපක්ෂ සමග කෙහෙල්බද්දර පද්මේ ඇති කරගත් සංවාදය දුරකථන විශ්ලේෂණවලින් සනාථ වී ඇතිනම් එම සංවාදවල අන්තර්ගය පිළිබඳ පැහැදිලි කිරීමට නාමල් රාජපක්ෂට සිදුවනු ඇත. මේ සංවාදයේ අරමුණ කුමක් දැයි ඔහුගෙන් පැහැදිලි කිරීමක් ද අපේක්ෂා කරනු ඇත.
පසුගිය මැතිවරණ ව්‍යාපාර වලදී හෝ වෙනත් දේශපාලන කටයුතු සඳහා මෙම පුද්ගලයාගෙන් මූල්‍ය ආධාර ලබාගෙන තිබේද?, සැකකරුගේ ව්‍යාපාරික කටයුතු සඳහා දේශපාලන බලය භාවිත කරමින් පහසුකම් සලසා දී තිබේද? යන්න පිළිබඳව අපරාධ විමර්ශකයින් විසින් නාමල්ගෙන් ප්‍රශ්න කරනු ඇත.
කෙහෙල් බදද්ර පද්මේ සම්බන්ධව සිදුවූ පොලිස් විමර්ශන වලට නාමල් රාජපක්ෂගේ පාර්ශවයෙන් යම් බලපෑමක් සිදුවී ඇතිදැයි යන්න පිළිබඳවත් විමර්ශන අංශවල අවධානය යොමු වී තිබේ. මේ ඔස්සේ හෙළිවන සාක්ෂි සහ විද්‍යාත්මක සාධක තහවුරු වන්නේ නම් අපරාධ විමර්ශකයින්ට ඉදිරි නෛතික ක්‍රියාමාර්ගවෙත ප්‍රවේශ විය හැකිය.
සිරිලිය සවිය සහ ශිරන්ති
අද ශිරන්ති රාජපක්ෂත් මූල්‍ය අපරාධ විමරශන කොට්ඨාසයට කැඳවා තිබේ. ඒ සමගම ‘සිරිලිය සවිය’ පදනම සම්බන්ධ ආන්දෝලනාත්මක කරුණු යළි කරළියට පැමිණ ඇත. මෙය හුදෙක් දේශපාලන පළිගැනීමක් ද නැතිනම් සැබෑ මූල්‍ය අක්‍රමිකතාවයක් ද යන්න පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.
මොකක්ද මේ ‘සිරිලිය සවිය’?
සිරිලිය සවිය යනු කාන්තා සුබසාධනය සහ සමාජ සේවා කටයුතු වෙනුවෙන් ශිරන්ති රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ගත් පදනමකි. මෙහි මූල්‍ය පාලනය සඳහා මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ විශේෂ ගිණුමක් පවත්වාගෙන ගොස් තිබිණි.
මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් මෙම ගිණුම සම්බන්ධයෙන් ප්‍රධාන කරුණු කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වමින් තිබේ. මෙම පදනම නිසි පරිදි සමාජ සේවා දෙපාර්තමේන්තුවේ හෝ අදාළ ආයතනවල ලියාපදිංචි කර නොතිබිණි. බැංකු ගිණුම ආරම්භ කිරීමේදී ඉදිරිපත් කළ ලිපි ලේඛනවල අඩංගු ඇතැම් හැඳුනුම්පත් අංක සත්‍ය තොරතුරු සමඟ නොගැළපෙන බවට චෝදනා එල්ල වූයේය. රුපියල් මිලියන ගණනක මුදල් මෙම ගිණුමට බැර වී ඇති අතර, එම මුදල් ලබාදුන් පාර්ශ්වයන් හෝ එම ආධාර ලැබුණු ආකාරය පිළිබඳ පැහැදිලි වාර්තා නොමැති වීම ප්‍රධානතම ගැටලුවක් ලෙස මතුවිය.
අමුතු අයි.ඩී. අංකය
මෙම මූල්‍ය විමර්ශනයේ වඩාත්ම විමතියට කරුණ වන්නේ ‘සිරිලිය සවිය’ ගිණුම ආරම්භ කිරීමේදී ශිරන්ති රාජපක්ෂ සිය ජාතික හැඳුනුම්පත් අංකය ලෙස ඉලක්කම් දෙකක් පමණක් සහිත අංකයක් ලබා දී තිබීමය. සාමාන්‍ය පුරවැසියෙකුට බැංකු ගිණුමක් විවෘත කිරීමේදී නිවැරදි ඉලක්කම් 9ක හෝ 12ක හැඳුනුම්පත් අංකයක් අනිවාර්යය.
එහෙත් ශිරන්ති රාජපක්ෂ සිරිලිය සවිය ගිණුම මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ විවෘත කිරීමේදී සිය ජාතික හැඳුනුම්පත් අංකය ලෙස ඉදිරිපත් කර තිබුණේ 222222222V යන අංකයය.
මීට අමතරව, එම ගිණුමේ චෙක්පත් අත්සන් කිරීමේ බලය තිබූ තවත් නිලධාරිනියකවූ A.M.J.A. කුමාරි සිය හැඳුනුම්පත් අංකය ලෙස 111111111V යන්න ය. මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ බැංකු ඉතිහාසය තුළ මෙන්ම අපරාධ විමර්ශන ක්ෂේත්‍රයේ ද දැඩි කතාබහට ලක් විය. විමර්ශනවලදී හෙළි වූයේ මේවා සත්‍ය හැඳුනුම්පත් අංක නොවන බවය.
පසුව ඇයගේ පාර්ශ්වයෙන් ප්‍රකාශ වූයේ මෙය බැංකු පද්ධතියට දත්ත ඇතුළත් කිරීමේදී සිදු වූ “පරිගණක දෝෂයක්” (Data entry error) බවයි. කෙසේ වෙතත්, සාමාන්‍ය පුරවැසියෙකුට මෙවැනි අංකයක් යටතේ ගිණුමක් පවත්වාගෙන යාමට බැංකු පද්ධතිය ඉඩ නොදෙන බැවින් මෙය ප්‍රබල සැකයට තුඩු දුන්නේය.
එමෙන්ම සුප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සහ සිරිලිය සවිය අතර සම්බන්ධය ගොඩනැගෙන්නේ ඝාතනය සිදු වූ අවස්ථාවේ එම ස්ථානය අවට ගැවසුණු බව කියන ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් (Defender) රථයක් හේතුවෙනි.
මෙම ඩිෆෙන්ඩර් රථය මුලින්ම ශ්‍රී ලංකා රතු කුරුස සංගමය (Red Cross) වෙත සුනාමි සහන කටයුතු සඳහා ප්‍රදානය කරන ලද්දකි. පසුව මෙම වාහනය රතු කුරුස සංගමය විසින් ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ‘සිරිලිය සවිය’ පදනම වෙත පරිත්‍යාග කර තිබුණි. තාජුඩීන් ඝාතනය වූ රාත්‍රියේ ඔහු ගමන් කළ රථය පසුපස හඹා ගිය සහ එම ස්ථානයේ රැඳී තිබුණු බව කියන රථ අතර සිරිලිය සවිය පදනමට අයත් මෙම ඩිෆෙන්ඩර් රථය ද තිබූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.
මෙම වාහනය රේගු බදු ගෙවා නිසි පරිදි ලියාපදිංචි කර නොතිබූ අතර, එය ‘රතු අංක තහඩු’ (Red number plates) සහිතව භාවිත කර තිබීම ද තවත් ගැටලුවක් විය.
සිරිලිය සවියට එල්ල වී ඇති මූල්‍ය චෝදනා
- රුපියල් මිලියන 35ක චෙක්පත් ගනුදෙනුව
විමර්ශනවලදී හෙළි වූ ප්‍රධානතම කරුණක් වූයේ රුපියල් මිලියන 35ක මුදලක් මෙම ගිණුමට බැර වී තිබීමයි. මෙහි විශේෂත්වය වන්නේ එම මුදල ලබා දුන් පාර්ශ්වය හෝ ප්‍රභවය පිළිබඳ නිසි ලේඛන පදනම සතු නොවීම. එමෙන්ම මෙම මුදල පදනමේ නිල පරමාර්ථ සඳහා භාවිත නොකර වෙනත් ව්‍යාපාරික හෝ පෞද්ගලික අවශ්‍යතා සඳහා යොදවා ඇති බවට සැක කිරීමය.
- ‘කාල්ටන් ප්‍රෙස්’ (Carlton Press) ආයතනය සමඟ සබැඳියාව
සිරිලිය සවිය ගිණුම පවත්වාගෙන යන්නේ කාන්තා සහ ළමා සුබසාධන ආයතනයක මූල්‍ය ගනුදෙනු වෙනුවෙනි. එයට ලැබෙන මුදල් සමාජ සේවා කටයුතු සඳහා යොදා ගැනීම ප්‍රකාශිත අරමුණය. නමුත් ගිනුමට ලැබුණු ඇතැම් මුදල් ‘කාල්ටන් ප්‍රෙස්’ නැමති මුද්‍රණ ආයතනය වෙත ගෙවා ඇති බව විමර්ශනවලදී අනාවරණය විය. මෙම ආයතනය රාජපක්ෂ පවුලේ දේශපාලන ප්‍රචාරණ කටයුතු සහ මුද්‍රණ කටයුතු සිදු කළ ආයතනයකි.
පුණ්‍ය කටයුතු සඳහා මහජනයාගෙන් සහ විදේශවලින් ලැබුණු මුදල්, මෙවැනි දේශපාලනික මුද්‍රණ කටයුතු සඳහා වැය කිරීම මූල්‍ය අවභාවිතයක් ලෙස සලකනු ලබයි.
- ‘කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්’ (CSN) සමඟ ඇති ගනුදෙනු
සිරිලිය සවිය පදනමේ ගිණුම්වලින් සහ CSN නාලිකාවේ මූල්‍ය පාලනයන් අතර යම් අන්තර් සබඳතාවක් පවතින බවට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සැක පහළ කළේය. විශේෂයෙන්ම, එක් ආයතනයකට ලැබෙන ආධාර මුදල් අනෙක් ආයතනයේ ප්‍රවර්ධන කටයුතු සඳහා හුවමාරු වූ බවට චෝදනා එල්ල විය. ව්‍යාජ හැඳුනුම්පත් අංක යටගේ ගිනුම් පවත්වාගෙන යමින් මේ සිදුකර ඇත්තේ “මුදල් විශුද්ධිකරණය” (Money Laundering) යටතට වැටෙන ගනුදෙනු බව විමර්ශකයෝ කියති. එනම්, නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල් පුණ්‍ය ආයතනයක ගිණුමකට දමා එය නීත්‍යානුකූල මුදල් ලෙස පෙන්වීමට උත්සාහ කර ඇති බවට සැක කෙරේ.
- රතු කුරුස සංගමයෙන් ලැබුණු වාහන සහ මුදල්
රතු කුරුස සංගමය විසින් සුනාමි සහන සඳහා ලබා දුන් වාහන සහ ඇතැම් මූල්‍ය ප්‍රතිපාදන සිරිලිය සවිය පදනම වෙත පවරා ගැනීමේදී නිසි රාජ්‍ය අනුමැතියක් ලබා නොගැනීම සහ එම වාහන පෞද්ගලික ආරක්ෂක කටයුතු සඳහා (තාජුඩීන් සිද්ධියේදී මෙන්) භාවිත කිරීම ද ප්‍රධාන මූල්‍ය හා දේපළ අවභාවිතයක් ලෙස විමර්ශනය කෙරේ.
වත්මන් තත්ත්වය –
මෙම ගනුදෙනු සම්බන්ධයෙන් වූ නඩු කටයුතු වසර ගණනාවක් තිස්සේ විභාග වෙමින් පවතී. , මීට පෙර අවස්ථාවලදී ද මෙම ගිණුම සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂගෙන් සහ පදනමේ අනෙකුත් නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි. ශිරන්ති රාජපක්ෂ මීට පෙර ප්‍රකාශ කර තිබුණේ මෙම සියලු චෝදනා දේශපාලන අරමුණු මත පදනම් වූ ඒවා බවත්, තමන් නීත්‍යානුකූලව සහ විනිවිදභාවයකින් යුතුව එම කටයුතු සිදු කළ බවත්ය.
අද දින ඇයව කැඳවා ඇත්තේ නවතමයෙන් අනාවරණය කරගත් සාක්ෂි හෝ පරස්පරතා සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීමට බව විශ්වාස කෙරේ. මෙම ප්‍රභවය හෙළි නොකළ මුදල් තැන්පතු සහ ඒවා වැය කළ ආකාරය පිළිබඳව අවසන් නිගමනයකට එළඹීමට එම ප්‍රකාශ වැදගත් වනු ඇතැයි වාර්තා වේ.







