කපිල කේ. හීනටියන –
යුරෝපා සංගමය (EU) විසින් ඊයේ ( 29) දිනයේ දී ඉරානයේ ප්රබලතම හමුදා සහ ආර්ථික ඒකකය වන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) නිල වශයෙන් සිය ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කිරීමට තීරණය කළේය. IRGC යනු ඉරානයේ කොඳු නාරටිය ය. අමෙරිකාව සහ කැනඩාව අනුගමනය කරමින් යුරෝපා සංගමයද මෙම පියවර ගැනීමත් සමඟ ඉරානයට ගෝලීය වශයෙන් මුහුණ දීමට සිදුවන අභියෝග ඉමහත්ය. මේ සාකච්ඡාවට පෙර ඉරානයේ ඉස්ලාමීය විප්ලවිය ආරක්ෂක බලකාය (IRGC) යනු කුමක් දැයි හඳුනා ගැනීම වැදගත්ය.

IRGC හි කාර්යභාරය කුමක්ද?
1979 ඉරාන ඉස්ලාමීය විප්ලවයෙන් පසුව පිහිටුවන ලද IRGC, එරට සාමාන්‍ය හමුදාවට (Artesh) සමාන්තරව ක්‍රියා කරන නමුත් ඊට වඩා වැඩි බලතල සහිත ආයතනයකි. එහි ප්‍රධාන කාර්යයන් කිහිපයකි:
ඉරාන රජයට සහ එහි ඉස්ලාමීය මතවාදයට එරෙහිව එල්ල වන අභ්‍යන්තර හා බාහිර තර්ජන මර්දනය කර රජය ආරක්ෂා කිරිම මෙම බලකායේ ප්‍රධානම කාර්ය භාර්යය ය. එමෙන්ම ලෙබනනයේ හිස්බුල්ලා, පලස්තීනයේ හමාස් සහ යේමනයේ හවුති කැරලිකරුවන්ට යුද සහ මූල්‍ය ආධාර සපයමින් කලාපය තුළ ඉරාන බලය ව්‍යාප්ත කිරීමේ වගකීම ද මෙම බලකාය විසින් දරන්නේය.
තවද ඉරානයේ බැලස්ටික් මිසයිල සහ න්‍යෂ්ටික පහසුකම්වල ආරක්ෂාව සහ සංවර්ධනය භාරව සිටින්නේ මෙම බලකායයි. ඉරානයේ ඉදිකිරීම්, තෙල් හා ගෑස්, සහ සන්නිවේදන ක්ෂේත්රවල ප්‍රධාන ව්‍යාපාරික ආයතන රැසක් පාලනය කරන්නේ IRGC විසිනි. එනම් රටේ ආර්ථික ඒකාධිකාරිය මෙම බලකාය සතුය.
ත්‍රස්ත ලැයිස්තුවට ඇතුළත් කිරීමේ ගෝලීය අරමුණ
IRGC ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීම පිටුපස කරුණු කිහිපයක් පවතී. ඉන් ප්‍රධානම ඉලක්කය වන්නේ ආර්ථික සම්බාධකය නිර්මාණය කිරීමය. යුරෝපය සහ අනෙකුත් රටවල් සමඟ පවතින ව්‍යාපාරික සබඳතා නතර කිරීම හරහා ඉරාන රජයේ මූල්‍ය ශක්තිය දුර්වල කිරීමය. මෙම තීරණයත් සමඟ IRGC හා සම්බන්ධ ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයකට යුරෝපය තුළ පවතින වත්කම් තහනම් වනු ඇත. එසේම, යුරෝපීය සමාගම්වලට ඉරානයේ ප්‍රධාන ව්‍යාපාර සමඟ ගනුදෙනු කිරීම නීති විරෝධී වේ. මෙය දැනටමත් බිඳවැටෙමින් පවතින ඉරාන ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.
පසුගිය වකවානුව තුළ ඉරානයේ ඉස්ලාමීය රාජ්‍යයට සහ උත්තරීතර නායකයාට එරෙහිව ඇති වූ විරෝධය සහිත මහජන උද්ඝෝෂණය ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් බිහිසුණු ලෙස මර්ධනය කළේය. මෙම මර්ධනයට එරෙහිව මුලින්ම මහා හඬක් නැගුවේ ඇමරිකාව විසිනි. මේ මර්ධනයට එරෙහිවීමට දැන් යුරෝපා සංගමය ද පෝලිම් ගැසී ඇත.
එමෙන්ම ඉරානය විසින් නඩත්තු කරන මැදපෙරදි සන්නද්ධ කණඩායම් යුරෝපා ආර්ථික ක්රියාකාරකම්වෙත කරන බලපෑම වැලැක්වීම ද යුරෝපා සංගමය සිය පියවර හරහා අපේක්ෂා කරනු පෙනේ. එම සන්නද්ධ කණ්ඩායම් වෙත ආධාර කිරීම වැලැක්වීම ද මෙම ප්රවේශයේ අපේක්ෂාවය.
රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඉරානය තවදුරටත් හුදෙකලා වීමට යුරෝපා සංගමයේ මෙම තීරණය හේතුවන බව පෙනේ. විශේෂයෙන්ම න්‍යෂ්ටික එකඟතාවන් පිළිබඳ සාකච්ඡා පවතින පසුබිමක, මෙම නම් කිරීම ඉරාන රජය දැඩි ස්ථාවරයකට හෝ අර්බුදයකට තල්ලු කරනු ඇත.
ඇමරිකාවේ බලපෑම
සැබෑ ලෙසම මේ පියවර පසුපස හිඳමින් යුරෝපා සංගමයටත් මෙම තීන්දුව ගැනීමට බලපෑමක් එල්ල කරනු ලබන්නේ ඇමරිකාව විසින් බව විචාරක මතය යි. එය ඇමරිකාව මේ වනවිට දියත් කර ඇති ඉරාණයට එරෙහි මෙහෙයුමේ එක් ප්‍රවේශයක් ලෙස ද හඳුනා ගත හැකිය. 2019 වසරේදී ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමයේදී ඇමරිකා එක්සත් ජනපදය ප්‍රථම වරට IRGC ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කළේය. මෙය වෙනත් රටක නිල හමුදා අංශයක් ත්‍රස්ත ලැයිස්තුවට ඇතුළත් කළ පළමු අවස්ථාවය. 2026 වන විට යුරෝපා සංගමය ගත් මෙම තීරණය සඳහා ඇමරිකාවේ “උපරිම පීඩනය යෙදීමේ” (Maximum Pressure) ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර වශයෙන් සිදුකළ රාජ්‍යතාන්ත්‍රික බලපෑම් සෘජුවම දායක වී ඇත.
ඉරාන විදේශ අමාත්‍යංශය පවසන්නේ මෙය “උපායමාර්ගික වැරැද්දක්” සහ “නීති විරෝධී ක්‍රියාවක්” බවය. ඉරානය මෙයට ප්‍රතිචාර වශයෙන් කලාපය තුළ සිටින බටහිර හමුදා ඉලක්ක කිරීමට හෝ හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට බාධා කිරීමට ඉඩ ඇති බවට ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති. ලෝක බලවතුන් සහ ඉරානය අතර පවතින මෙම ගැටුම මැදපෙරදිග සාමය කෙරෙහි කෙබඳු බලපෑමක් ඇති කරයිද යන්න ඉදිරි මාස කිහිපය තුළ තීරණය වනු ඇත.







