අසේල කුරුළුවංශ –
ශ්‍රී දලදා මාලිගාව පවත්වාගෙන යෑම සඳහා දිනකට රුපියල් ලක්ෂ 50 ක පමණ මුදලක් උත්පාදනය කරගත යුතු බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසයි.
කාර්ය මණඩලයට වැටුප් ගෙවීම, සේවක සුබ සාධනය,දළදා මාලිගාව මගින් ඉටු කරනු ලබන සෙසු කාර්යයන් ඇතුළු සියල්ල වෙනුවෙන් මේ අනුව වසරකට රුපියල් කෝටි 150 ක පමණ මුදලක් වැය කිරීමට සිදුවන බවත් මෙම මුදල උත්පාදනය කර ගැනීම දැවැන්ත අභියෝගයක් බවත් දියවඩන නිලමේවරයා කියයි.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පත්වීමෙන් අනතුරුව වසර 20 ක කාලයක් පුරා දළදා මාලිගාවේ පෙරහර ඇතුළු අනෙකුත් මංගල්‍යයන් හා ආගමික වතාවත් මෙන්ම විවිධ කාර්යයන් උදෙසා සහාය දැක්වූ 453 දෙනෙකු උදෙසා කෘතගුණ දැක්වීමේ ‘මෙහෙවරට බුහුමන් ” ප්රණාම උළෙලේ දී ඔහු මේ බව පැවසුවේය.
උත්සවය පල්ලෙකැලේ පිහිටි ශ්‍රී දළදා මාලිගාවට අයත් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
මෙහිදී දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලය 125 දෙනෙකු ප්‍රවීණ කලාකරුවන් 210 දෙනෙකු අලි ඇතුන් හිමිකරුවන් 69 දෙනෙකු හා හස්ති පාලකවරු 39 දෙනෙකු වශයෙන් 453 දෙනෙකු ගෞරව බුහුමනට පාත්‍ර වූහ.

තමන් මුලින්ම දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයට පත්වන විට දළදා මාලිගාවේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 800 ක පමණ අගයක තිබූ බවත් ඉන් ලක්ෂ 350 ක් පමණ හිමිවූයේ පොලී ආදායම ලෙස බවත් හෙතෙම අවධාරණය කළේය.
බස්නායක නිලමේවරයෙකු ලෙස වසර 07 ක්ද ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ලෙස වසර 20 කට වැඩි කාලයක්ද කටයුතු කර තිබෙන තමන් මෙම අභියෝග ජයගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවද නිලංග දෑල කීවේය.
ඉරහඳ ඇරෙන්නට පියා තමන් ඉල්ලූ සියලු දේ ලබාදුන් බවත් 1995 දී තමන්ගේ ඉල්ලීමකට අනුව පියා බණ්ඩා අලියා මිලට ගෙන දුන් බවත් කී දියවඩන නිලමේවරයා ලංකාවේ සිටින ඕනෑම අලියෙකු දුටු සැනින් ඒ අලියාගේ නම වගේම හිමිකරු කවුරුන්ද යන්න හඳුනා ගැනීමේ විශේෂ හැකියාවක් තමන් සතු බවද අවධාරණය කළේය.
මහනුවර ඇසළ පෙරහර ලොව පුරා මිලියන 100 ක පමණ පිරිසක් නරඹන තත්ත්වයක් දක්වා දියුණු කිරීමට තමන්ට හැකි වූ බවද හෙතෙම කීවේය.
ගතවූ කාලය තුළ ශ්‍රී දළදා මාලිගාවේ භෞතික සම්පත් සංවර්ධනය සඳහා කටයුතු කළ බවත් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් රැසක් තිබෙන බවත් දියවඩන නිලමේවරයා පැවසුවේය.
මෙම අවස්ථාවට මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම, අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඬරුවේ උපාලි, මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ ශ්‍රී විජිතසිරි, අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, මහියංගණ රජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත, බෙල්ලන්විල රජමහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන යන නාහිමිවරු ප්රමුඛ මහා සංඝරත්නයද සමරගමුව මහ සමන් දේවාලයේ බස්නාවක නිලමේ, සංඛ මාපිටිගම, මහාචාර්ය අශෝක දංගොල්ල, නිලංග දෑල ගේ භාර්යාව මාධවි දෑල යන ඇතුළු පිරිසක් සහභාගි වූහ.







