ජයකාන්ත ලියනගේ – බළපිටිය –
අම්බලන්ගොඩ සිංගර් ආයතනයේ කළමනාකරු වූ සන්තියාගෝ හිරාන් කෝසල ද සිල්වා වෙඩි තබා ඝාතනය කළ ඝාතන සිද්ධියේ සුල මුල අනාවරණය වෙමින් තිබේ. මේ වනවිට එම ඝාතනයට අදාල ප්‍රධාන සැකකරුවෙක් වූ ඝාතනයට පැමිණි යතුරුපැදියේ පැදිකරුවෙක් පොලිස් අත් අඩංගුවට පත් වී ඇත. ප්‍රධාන පැදිකරු නොවුනද යතුරුපැදිය සඟවා තබා ගැනීමට මේ පුද්ගලයා අපරාධකරුවන්ට සහයෝගය දී තිබේ. ඔහුව අත් අඩංගුවට ගන්නේ පෙරේදා (24) රාත්‍රියේ දී ය. ඒ කොල්ලුපියට ලැගුම්හලක දී ය.
සැකකරුවා නො. 420/1, සමගි මාවත, මහළදූව, බළපිටිය ලිපිනයේ පදිංචි රඹුක්කන ගමගේ ජනත් කාංචන (36) නැමැත්තෙකි.
ඔහු ඊයේ (25) බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ඉසෙඩ් පී එම් ලියාකාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2025.12.30 දින දක්වා අම්බලන්ගොඩ පොලීසිය බාරයේ රඳවාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට රැදවුම් නියෝග ලබා දුන්නේය. මේ වනවිට පොලිසිය මෙම පුද්ගලයාගෙන් ප්‍රශ්න කරමිනි.
හිරාන් කෝලසට වෙඩි තැබූ ඝාතකයින් අත් අඩංගුවට ගත් පුද්ගලයා වෙත අපරාධයට සම්බන්ධ යතුරුපැදිය භාර දී තිබේ. ඉන් පසු සැකකරු, වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය අම්බලන්ගොඩ, ආදාදොල ප්‍රදේශයට රැගෙන විත් තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී ඇත.

සැකකරු ඝාතකයින්ගෙන් භාරගත් යතුරු පැදිය රැගෙනවිත් අඳාදොල ප්‍රදේශයේ අත් හැර දමා පසුව සිය මිතුරෙකුගේ නිවසට ගොස් ඇත. එහිදී මිතුරාගෙන් කලිසමක් සහ ටී ෂර්ට් එකක් ඉල්ලා ගත් සැකකරු තමන් ඇඳ සිටි ඇදුම් පුළුස්සා දමා කොළඹ ගොස් තිබේ. ඔහු කොල්ලුපිටියේ ලොජ් එකක නැවතී සිටියදි පොලීයේ අත් අඩංගුවට පත්වන්නේ ඉන් අනතුරුවය.
තමන් යතුරුපැදිය අඳාදොළ ප්‍රදේශයේ පාලු ප්‍රදේශයක අත්හැර දමා පලා යන්නේ ආඳාදොල, වතුගෙදර පදිංචි මධුරච්චාරි හසිත මධුසංක (38) නොහොත් දෙලා සහ දසුන් සුරංග මානවඩු යන දෙදෙනා විසින් ලබාදෙන ලද උපදෙස් අනුව බව ප්‍රශ්න කිරීමේ දී සැකකරු කියන්නේය.
හසිත මධුසංක හෙවත් දොලා හා දසුන් සුරංග මානවඩු දැනට රට තුළ නැත. ඔවුන් මේ අපරාධය මෙහෙයවන්නේ විදේශගතව සිටය. ඔවුන් දෙදෙනා යතුරු පැදිය රැගෙන යෑම සම්බන්ධයෙන් සැකකරුට වට්ස්ඇප් මාර්ගයෙන් උපදෙස් ලබා දුන් ආකාරය සැකකරු පොලිසියට හෙළි කර තිබේ.
මෙම සැකකරු ඇද සිටි ඇදුම් මාරු කර ඒවා පිලිස්සීම සදහා ගිය ඔහුගේ මිතුරාගෙන්ද පොලීසිය ඊයේ (25) පෙරවරුවේ ප්‍රශ්න කර තිබේ. එම පුද්ගලයා පොලීසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමා සිදුවිම සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත් මිතුරා පැමිණ තමාගෙන් කලිසමක් හා ටි ෂර්ටයක් ඉල්ලා ඇද ගැනීමෙන් අනතුරුව ඔහු ඇද සිටි ඇදුම් පුළුස්සා දැමූ බවත්ය.
සිද්ධිය යම් ප්‍රමාණයකට දැන ගැනීමෙන් පසු තමා සිය මිතුරා නිවසින් පිටත් කර යැවූ බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
පසුගිය 22 දින වෙඩිතබා ඝාතනය කරන ලද නො. 23/8, විද්‍යාල මාවත, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචි සන්තියාගෝ හිරාන් කෝසල ද සිල්වා (47) අම්බලන්ගොඩ සිංගර් ආයතනයේ කළමණාකරුය.
හිරාන් කෝසල සිංගර් ආයතනය තුළදීම වෙඩිතබා ඝාතනය කර තිබුණි. වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය අම්බලන්ගොඩ කුරුඳුවත්ත, ආඳාදොළ මාර්ගයේ දමා ගොස් තිබියදී එදිනම දහවල් පොලීසිය විසින් සොයා ගත්තේය.
හිරාන් කෝසල සම්බන්ධයෙන් ද බරපතල ප්‍රශ්න පැන නැගී තිබිණි. ඔහු අපරාධ කල්ලි ගණනාවක් සමග සබඳතා පැවැත්වූ බවත් ඇතැම් අපරාධකරුවන්ගේ මුදල් පරිපාලනය සම්බන්ධයෙන් මැදිහත්ව කටයුතු කර ඇති බවත් අනාවරණය වූයේය. ඝාතනය වන්නට පෙර දින රාත්‍රියේ මෙම පුද්ගලයා සමග අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිටින ලොකු පැටී නැමැති අපරාධකරු දුරකථනයෙන් කතා කළ බව හෙළි විය. ඔහුගේ දුරකථනය පවා සඟවා තිබිණි. පසුව ඔහුගේ මස්සිනා ලඟ තිබී එම දුරකථනය විමර්ශන අංශ භාරයට පත් විය.
වෙඩි තැබීමෙන් මරණයට පත් වූ හිරාන් කෝසල පසුගිය පලාත් පාලන මැතිවරණයේදී අම්බලන්ගොඩ නගර සභාවට නගරාධිපති අපේක්ෂකයා ලෙස සමගි ජන බලවේගය පක්ෂය යටතේ කරග කර තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ඒ බී ඒ එස් රණවීගේ මෙහෙයවීම මත ඇල්පිටිය ජීව විද්‍යාත්මක අපරාධ ස්ථාන විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දිමාල් ද සිල්වා, අම්බලන්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රභාත් ගුණරත්න ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
අම්බලන්ගොඩ පොලීසියේ පොලිස් සැරයන් අමරසිරි (3164) සහ පොලිස් කොස්තාපල් තරංග බණ්ඩාර (10777) සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.







