ශ්‍රියානි විජේසිංහ –
මේ වන වන විට බස්නාහිර පළාත් සභාව විසින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල සඳහා මැමෝග්‍රෑම් (Mammogram) යන්ත්‍රයක් සහ අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහල සඳහා සීටී ස්කෑන් (CT Scanner) යන්ත්‍රක් නිසි ක්‍රමවේදයෙන් බැහැරව මිලදී ගැනීමට කඩිනමින් කටයුතු සිදු කරමින් සිටින බව රජයේ විකිරණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල සඳහා මිලදී ගැනීමට අපේක්‍ෂිත මැමෝග්‍රෑම් යන්ත්‍රය සඳහා රුපියල් මිලියන 100 ක් සහ අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට මිලදී ගැනීමට නියමිත සීටී ස්කෑන් යන්ත්‍රය සඳහා රුපියල් මිලියන 200 වෙන්කොට ඇති බවද සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසා සිටියි.
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට පියයුරු පිළිකා හඳුනා ගැනීම සඳහා භාවිතා කරන මැමෝග්‍රෑම් යන්ත්‍රය මිලදී ගැනීමේ ක්‍රියාපටිපාටියේදී සෞඛ්‍ය ලේකම්වරයාගේ චක්‍රලේඛ ප්‍රකාරව එම යන්ත්‍රයේ අවසාන භාවිතාකරු වන විකිරණ තාක්ෂණවේදී නිලධාරියකු තාක්ෂණික ඇගයීම් කමිටුවට සම්බන්ධ කරගෙන නොමැති අතරම තාක්ෂණික ඇගයීම් කමිටුවට පත්කර සිටි විශේදෂඥ වෛද්‍යවරියද එම කමිටුවෙන් ඉල්ලා අස්වී ඇතැයි ද හෙතෙම පැවසුවේය.
විශේෂයෙන්ම මැමෝග්‍රෑම් යන්ත්‍රයක් මිලදී ගැනීමේදී අවධානය යොමු කළ යුතු රෝගී ආරක්ෂාව සහ පරීක්ෂණයේ නිවැරදිභාවය හේතුවෙන තාක්ෂණික කරුණු තාක්ෂණික පිරිවිතර ලැයිස්තුවට(Technical specification list) ඇතුළත් කොට නොමැති බව රජයේ විකිරණවේදීන්ගේ සංගමය පෙන්වා දුන්නේය.
තෝරා ගත් සමාගමකින් යන්ත්‍රය මිලදී ගැනීමට අවශ්‍ය පරිදි මෙම පිරිවිතර ලැයිස්තුව සකස් කොට ඇති බවට තොරතුරු වාර්තා වී ඇතැයිද සංගමය අනාවරණය කළේය.
තවද අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට මිලදී ගැනීමට නියමිත සීටී යන්ත්‍රය සඳහාද තාක්ෂණික ඇගයීම් කමිටුවට විකිරණ තාක්ෂණවේදී නිලධාරියකු සම්බන්ධ කර ගෙන නොමැති අතර එම යන්ත්‍රය මිලදී ගැනීමේ දී ද තෝරාගත් සමාගම් කිහිපයක් සඳහා ගැලපෙන අයුරින් පිරිවිතර ලැයිස්තුව සකස් කොට ඇති බව වාර්තා වී ඇති බව සංගමයේ සභාපතිවරයා අනාවරණය කළේය.
විශේෂයෙන්ම මෙන්ම මිලදී ගැනීමට සූදානම් වන යන්ත්‍රය එම රෝහලේ අවශ්‍යතාවයට වඩා ඉතා ඉහළ යන්ත්‍රයක් වන අතර එම යන්ත්‍රය මිලදී ගැනීමෙන් ඉතා විශාල මුදලක් අනවශ්‍ය ආකාරයෙන් වියදම් වනු ඇති බවත්, එම යන්ත්‍රය නඩත්තුව සඳහා වාර්ෂිකව ඉතා විශාල වියදමක් දැරීමට දැරීමටද සිදුවනුු ඇති බවත් රජයේ විකිරණවේදීන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ මොහොතේ බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අංශ විසින් සිදුකරන මෙම මෙම ගැටලුකාරී ගනුදෙනු සම්බන්ධයෙන් සුවිශේෂී විමර්ශනයක් සිදුකොට අදාළ රෝහල්වලට ගැලපෙන රෝගීන්ගේ පරීක්ෂණ විශ්වාසනීය ආකාරයෙන් සිදුකර ගත හැකි යන්ත්‍ර නිසි සංයුතියකින් යුතු තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත්කොට මිලදී ගැනීම සිදුකරන ලෙස රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.
මෙම දූෂිත ගනුදෙනුවලට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව කඩිනමින් විමර්ශනය කොට වරදකරුවන්ට දඬුවම් පමුණවන ලෙස ද සංගමය විශේෂයෙන් දන්වයි.







