මනම්පිටිය නිමල් ජයරත්න –
දින කිහිපයක සිට වෙඩි වැදුණු වන අලියෙකු දිඹුලාගල ගල්තලාව, මැදගම, යාය 07, 08 ප්‍රදේශවල සැරිසැරීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව ගල්තලාව හා අවට ගම්වාසීහු සඳහන් කරති.
එම වන අලියාගේ ඉදිරි පාදයට වෙඩි වැදී ඇති බව ප්‍රදේශවාසීන් කියති.
දිවා මෙන්ම රාත්‍රී කාලයේ එම වන අලියා ගල්තලාව,දේවගල, යාය 07,08 හා අවට තිබෙන කුඹුරු බිම්වලට ගොස් වී වගාවට මෙන්ම කුඹුරුවලට දැඩි ලෙස හානි කරන බවත්, මෙම තත්ත්වය සැලකිල්ලට එම වන අලියාට යම් ප්‍රතිකාරයක් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත් ප්‍රදේශයේ ගොවි සංවිධාන හා ගොවීහු සඳහන් කරති.
මේ වනවිට එම වන අලියා සති දෙකක පමණ කාලයක සිට දිවා මෙන්ම රාත්‍රී කාලයේ නිවෙස් අසලට පැමිණි දැඩි වේදනාවකින් සැරිසරන බවත් මේ පිළිබඳ වනජීවී නිලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඊට කිසිදු විසඳුමක් ගෙන නොමැති බවත් ගොවීහු චෝදනා කරති
එම වන අලියා විසින් ප්‍රදේශයේ කුඹුරු බිම්වල පැළ ගොයම අක්කර ගණනාවක් විනාශ කර ඇති බවද ගොවීහු කියති.
මෙම වන අලියාගෙන් ප්‍රදේශවාසීන්ට හා කුඹුරුවට තිබෙන තර්ජනය පිළිබඳව අප පිඹුරත්තෑව අඩවි වන කාර්යාලයෙන් දුරකථනයෙන් කළ විමසීමකදී, එහි නිලධාරියෙකු සඳහන් කළේ එම වන අලියා පිළිබඳ ප්‍රදේශවාසීන් විසින් තම කාර්යාලයට දැනුම් දී ඇති බවත්, ඒ සම්බන්ධව වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ වනජීවී පශු වෛද්‍යවරයා දැනුවත් කළ බවත්ය. ඔහු පැමිණි විගස වහාම ප්‍රතිකාර කිරීමට කටයුතු කරන බව වනජීවී නිලධාරියා පැවසුවේය.







