මින් මතු මොනම හේතුවක් මත හෝ තරග විභාගයකින් තොරව ගුරු සේවයට උපාධිධාරින් අන්තර්ග්‍රහණය නොකරන බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිණී අමරසූරිය අද (05) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
ඇය පෙන්වා දුන්නේ මෙම තීරණයට එළඹ ඇත්තේ රාජ්‍ය සේවා කොමිසම සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගණනාවක ලබා දී ඇති තීන්දු අනුව මෙන්ම ගුරු සේවා ව්‍යවස්ථාව මත පිහිටා බව අවධාරණය කළාය.
ගුරු ව්‍යවස්ථාව අනුවත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ අනුවත් තරග විභාගයකින් තොරව ගුරු සේවයට බඳවා නොගැනීමට සියලුම පාර්ශව එකඟ වී ඇති බව අගමැතිවරිය පාර්ලිමේන්තුවට දැන්වූවාය.
සංවර්ධන නිලධාරීන් වසර ගණනක් ගුරු සේවයට අනුයුක්තව සේවය කර විද්‍යාපීඨ ශික්ෂණ ලාභීන්ට වඩා වැඩි අත්දැකීම් ප්‍රමාණයක් සහිතව සිටිය ද විභාගයට පෙනී සිටීම අනිවාර්ය බව කී අගමැතිවරිය විභාගයෙන් අනතුරුව කැඳවන සම්මුඛ පරීක්ෂණයේ දි එම ගුරු අත්දැකීම් අතිශය ප්රමුඛ වනු ඇති බව ද කීවාය.
කෙසේ වෙතත් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ වයස් සීමාව සංශෝධනය කර වයස අවුරුදු 45 තෙක් දීර්ඝ කර ඇති බැවින් එම සීමා කොන්දේසිවලට යටත්ව විභාග පවත්වා ගුරු සේවයේ පුරප්පාඩු පුරවන බව අගමැතිවරිය පැහිදිලි කළාය.
පසුබිම පැහැදිලි කරමින් අගමැතිවරිය මෙසේ ද කීවාය.
“ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ නඩු කටයුතු අනුව ගුරු සේවා ව්‍යවස්ථාවේ 3.1 ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීමට අදාල සුදුසුකම් සපුරන අය බඳවා ගැනීමට පාසල්වල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් ද ඇතුළු රාජ්යසේවයේ උපාධිධාරින් ගුරු සේවට බඳවා ගැනීම මැයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් 2025/10/08 ඉදිරිපත් කරලා තියනවා. 2025/10/26 දිනැතිව එම අමාත්‍ය මණ්ඩල තීරණයට අනුමැතිය ලැබුනා. එම තිරණ සම්බන්ධව නැවත අභියාචනාධිකරණයට කරුණු වාර්තා කළා. “
“ඒ 2025/11/20 දින එම අභියාචානාධිකරණ නඩුවත් අවසන් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති නඩු තීන්දුව අනුව රජයේ සේවයේ නියුතු උපාධිධාරීන් හා රාජ්‍ය සේවයේ නියුතු නොවුන අනෙක් නිලධාරීන් සඳහා බඳවා ගැනීමේ වයස් සීමාව සංශෝධනය කරමින් වෙන වෙනම විභාග පවත්වා ගුරු සේවයේ පවතින පුරප්පාඩු සඳහා ගුරු සේවයේ 3/1/අ ශ්‍රේණියට උපාධි ධාරීන් බදවා ගැනීමට කටයුතු කරමින් පවනවා.”
“විභාගයකට අමතරව සම්මුඛ පරීක්ෂණයක් තියනවා බඳවා ගැනීමේ දෙවැනි පියවර ලෙස. එතැනදි අනිවාර්යයෙන්ම සංවර්ධන නිලධාරීන් ගුරු සේවයේ යෙදෙමින් පාසල්වල ලබපු අත්දැකීම් ඉදිරිපත් කළ හැකියි. වැඩි වාසියක් එම පිරිසට ලැබෙනවා.”
“වයස් සීමාව සංශෝධනය කර විභාග පවත්වා ගුරුසේවය තුළ පවතින පුරප්පාඩු අනුව 3/1/අ ශ්‍රේණියට උපාධි ධාරීන් තෝරා පත් කරගැනීමට නියමිතය. “
පාසල්වලට ඒකාබද්ධ සේවා යටතේ බඳවාගෙන සංවර්ධන නිලධාරීන් ලෙස සේවය කළ කිසිවෙක් 2012 සිට මේ දක්වා ගුරු සේවයට ඍජුව අන්තර්ග්‍රහණය කර ගැනීමක් සිදුකර නැති බවත් මෙහිදී අනාවරණය විය.







