ආපදාවෙන් පසු ජන ජීවිතය යථාවත් කිරීමේදී හානියට පත් මාර්ග පද්ධතිය කඩිනමින් පිළිසකර කර ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛතාව දී කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (04) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් පාලම් සහ මහාමාර්ග සම්බන්ධ තොරතුරු සහ ඒවා පිළිසකර කිරීම වෙනුවෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ අරමුණින් මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.
නායයෑම්, ජල ගැලීම් සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් විනාශ වී ගොස් තිබෙන පාලම් සහ මහාමාර්ග පිළිසකර කිරීම, ඊට ගත වන කාලය සහ අදාළ ප්‍රතිපාදන වෙන් කිරීම් සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
අයහපත් කාලගුණය හේතුවෙන් මෙරට A සහ B ශ්‍රේණියේ කිලෝමීටර් 247ක් පමණ වන මාර්ග හානියට පත්ව තිබෙන බවත්, පාලම් 40ක් විනාශ වී ගොස් ඇති බවත් මෙහිදී පෙන්වා දුන් අමාත්‍යාංශ නිලධාරීහු, කැඩී ගිය මාර්ග කොටස් 256න් 175ක් මේ වන විට ගමනාගමනය සඳහා විවෘත කර තිබෙන බවද සඳහන් කළහ.
කෙසේ වෙතත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ මේ වනවිටත් පෙරාදෙණිය බදුල්ල චෙන්කල්අඩි මාර්ගය, ගම්පොල නාවලපිටිය මාර්ගය, මහනුවර රන්දෙණිගල මාර්ගය, මාතලේ ලග්ගල මාර්ගය, බදුල්ල පස්සර ලුණුගල මාර්ගය, මුලතිව් නයාරු කෝකිලායි මාර්ගය යන A ශ්‍රේණියේ මාර්ගය ගමනා ගමනය සඳහා අවහිර වී ඇති බවය.
මුලතිව් නායාරු කෝකිලායි මාර්ගයේ පාලම් 02ක් අබලන් වී ඇති බවත් මාර්ග සංවර්ධන අධිකාරිය සහ යුද හමුදාව එක්ව එම පාලම් පිළිසකර කිරීම අද ආරම්භ කර සති තුනකින් නිම කිරිමට සැලසුම් කර ඇති බවත් විශේෂ ආපදා මෙහෙයුම් මාධ්‍ය මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක සහ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ ප්‍රකාශ කර තිබිණි. .







