අසේල කුරුළුවංශ –
බලයට ඒමට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ කතා කළත් ඒ සම්බන්ධයෙන් මේ වනවිට ආණ්ඩුව තුළ ඒ සඳහා පැහැදිලි උනන්දුවක් දක්නට නොලැබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රමේෂ් රාමසාමි පවසයි.
අරගලය සමයේ දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සහ විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධව බරපතළ සමාජ කතිකාවක් නිර්මාණය වූ බවත් මේ වනවිට එම කතිකාව යටපත් වෙමින් තිබෙන ස්වභාවක් දක්නට ලැබෙන බවත් ඔහු කීය.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් යහපත් ආණ්ඩුකරණයක් සඳහා සිවිල් සමාජයේ දායකත්වය මැයෙන් මහනුවර පුෂ්පදාන ශාලාවේදී පැවැති ජනහමුවේදී රමේෂ් රාමසාමි මේ බව අනාවරණය කළේය.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති ජනහමුවේ දී ආචාර්ය රමේෂ් රාමසාමි මෙසේද පැවසුවේය.
“රට අපේක්ෂා කළ දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට හොඳම අවස්ථාව තිබෙන්නේ වත්මන් ආණ්ඩුවටයි. විධායක ජනපති බලතලත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයත් තිබියදී ආණ්ඩුව ඒ සඳහා කටයුතු නොකරන්නේ නම් සිවිල් සමාජය ලෙස අප ඒ සඳහා ආණ්ඩුවට බලපෑම් කළ යුතුයි. මේ රටේ මතුව තිබෙන ප්‍රශ්න බොහෝමයකට හේතුව තනි පුද්ගලයෙකු සතුව බලය පැවතීමයි. ඒ නිසා විධායක ජනපති ක්‍රමය අහෝසි කර නැවත පාර්ලිමේන්තු ක්‍රමයට අප යායුතුයි.”
“රටට අවශ්‍යය දේශපාලන හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ආණ්ඩුවට බලපෑම් කරන්න ඕන. ලංකාවේ ස්වාධීන කොමිෂන් සභා ගණනාවක් තිබෙනවා. ඒවාහි ව්‍යුහය අධ්‍යයනය කිරීමේදී ඒවාට මතුපිටින් පෙනෙන තරම් බලතල ඒවාට නැහැ. මැතිවරණ කොමිෂන් සභාවට නිදහසේ තමන්ගේ මූල්‍ය බලය පාවිච්චි කරන්න හැකියාවක් නැහැ. පරිසර පනත අනුව අමාත්‍යාංශයට පුළුවන් පරිසර විනාශයක් කරන පුද්ගලයෙකුට කෙලින්ම නඩු පවරන්න. ඒ අයිතිය මැතිවරණ කොමිෂන් සභාවට නැහැ. මැතිවරණ නීති උල්ලංඝනයක් සිදුවන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා පොලීසිය යොමු කිරීම පමණයි කරන්න පුළුවන්.එහිදී ඍජුව මැදිහත් වෙලා නීතිය ක්‍රියාත්මක කරන්න කොමිසමට බැහැ. ඒ නිසා මේ කොමිෂන් සභා තව දුරටත් ශක්තිමත් කරන්න සිවිල් සංවිධාන බලපෑම් කළ යුතුයි.”
“තොරතුරු දැන ගැනීමේ පනත 2016 සිට අපේ රටේ ක්‍රියාත්මකයි. ලෝකයේ දියුණු රටවල් දෙස බලන විට ශක්තිමත් තොරතුරු දැන ගැනීමේ පනතක් තිබෙන රට වල වංචාව හා දූෂණය සීඝ්රයෙන් අඩුවී තිබෙනවා. නමුත් ලංකාවේ එහෙම තත්ත්වයක් පෙනෙන්න නැහැ. මේ පනත ක්‍රියාත්මකවීම ආරම්භ වූ 2016 සිට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය ඉදිරිපත් කරන වාර්තා බලද්දි 2024 වනවිටත් අපේ රටේ දූෂණයේ කිසිම වෙනසක් වූ බවක් පේන්න නැහැ.
වංචාව දූෂණය ඉහළින්ම ඇති රටවල් වර්ගීකරණය කිරීමේ දී ශ්‍රී ලංකාව තාමත් තිබෙන්නේ 121 වැනි ස්ථානයේ. පනත සමඟ නීති රීති ආවත් දූෂණය නැති කරන්න පුළුවන්ද කියලා අපි කල්පනා කර බැලිය යුතුයි. තාමත් මහ පාරිමාණ වංචා දූෂණ අඩුවී නොමැති බව පැහැදිලියි. දූෂණය නැති රටක් බවට ලංකාව පත් කරන්න නම් ආකල්පමය වෙනසක් සිදුවිය යුතුයි. දූෂණය රටේ සංස්කෘතියක් බවට පත්ව තිබෙනවා. 1978 න් පසු එහි වර්ධනයක් ඇති වුණා.
පළාත් පාලන ආයතන වල 25 % ක කාන්තා නියෝජනයක් තිබුණත් අපේ පාර්ලිමේන්තුව හා පළාත් සභා තුළ එවැනි කාන්තා නියෝජනයක් සඳහා අවස්ථාව නැහැ. ඒ නිසා 25 % ක කාන්තා නියෝජනය පාර්ලිමේන්තුව හා පළාත් සභා තුළත් තහවුරු කරන්න අවශ්‍යය බලපෑම කළ යුතුයි.
බලය බෙදීම සම්බන්ධයෙන් පැහැදිලි වැඩසටහනක් නැහැ. අලුත් ව්‍යවස්ථාවක් හදනවා නම් බලය බෙදීම සිදුවිය යුත්තේ මොන විදිහටද කියන කාරණය විවෘතව සාකච්ඡා කළ යුුතුයි. පළාත් පාලන ආයතන සඳහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන මුදල් ප්‍රතිපාදන ක්‍රමානුකූලව කප්පාදු කරමින් තිබෙනවා. මේ ආකාරයෙන් ගොස් 2028 දී පළාත් පාලන ආයතන සම්පූර්ණයෙන්ම තමන්ගේ වියදමින් නඩත්තු වෙන තත්ත්වයට පත්විය යුතුව තිබෙනවා. මූල්‍ය බලතල නැතුව පළාත් පාලන ආයතන කොහොමද ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා පැහැදිලි ලෙස බලය බෙදීම අවශ්‍යයයි.
මෙහි දී තල්පොත ධම්මජෝති,පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මුතුකෙලියාවේ ඉන්ද්‍රරතන යන හිමිවරුද මහාචාර්ය රොහාන් සමරජීව, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර, මහනුවර අන්තර් ආගමික කමිටුවේ කැඳවුම්කරු ගාමිණි ජයවීර ඇතුළු පිරිසක්ද කතා කළහ.







