දිනසේන රතුගමගේ –
වවුනියාව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් අතර උණ හා වමනය රෝගයක් පැතිර යාම නිසා එහි සිසුන් 8 දෙනෙකු ඊයේ (15) වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.
වසංගතයක් වශයෙන් පැතිර යන මෙම රෝගයට ගොදුරු වීම නිසා විද්‍යා පීඨයේ සිසුන් 42 ක් පමණ මේ වන විට රෝගීන් බවට පත්ව ඇතැයි ද ඔවුන්ගෙන් පිරිසක් පෞද්ගලික වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා ගෙන ඇතැයි ද වාර්තා වේ.
මෙම රෝගය නිසා වවුනියාව විද්‍යා පීඨයේ සිසුන්ට නිවාඩු ලබා දෙන ලෙස දෙමව්පියන් හා සිසුන් පාලන අධිකාරියෙන් ඉල්ලීමක් සිදුකර ඇතත් පාලන අධිකාරිය ප්‍රකාශ කොට ඇත්තේ වෛද්‍ය නිර්දේශයක් නොමැතිව නිවාඩු ලබා දීම සිදු කළ නොහැකි බවය.
කෙසේ වෙතත් මෙම රෝගය ඉතා සීග්‍රයෙන් පැතිර යාම නිසා විද්‍යා පීඨය තුළ අධ්‍යයන කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද නිසි පරිදි දේශවනවලට සහභාගී වීමට සිසුන්ට නොහැකි වී ඇතැයි ද ශිෂ්‍යයෝ පවසති.
රෝගය වැළදී තවමත් විද්‍යා පීඨය තුළ සිටින සිසුන් තමන්ට නිසි ආහාරයක් හා ප්‍රතිකාරයක් ලබා ගැනීම පිණිස නිවෙස් වලට යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලිම් කර ඇත.
පාලන අධිකාරිය ප්‍රකාශ කොට ඇත්තේ එලෙස සිසුන්ට නිවාඩු ලබා දීමෙන් අධ්‍යයන කටයුතු වලට බාධාවක් සිදුවන බවය. තත්ත්වය උපරිම තත්ත්වයෙන් පාලනය කරන බවට ද පාලන අධිකාරිය සහතික වී ඇත.







