වතු කම්කරු ජනතාවගේ වැටුප් වැඩිකිරීමට එරෙහි වූ විපක්ෂයේ ස්ථාවරයට එරෙහි වෙමින් විපක්ෂය නියෝජනය කරන මනෝ ගනේෂන්, රාධා ක්‍රිෂ්ණන්, පලනි දිගම්බරන් හා ජීවන් තොණ්ඩමන් මන්ත්‍රීවරුන්ගේ ඡන්දය ද සහිතව 2026 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 118කින් සම්මත වූයේය.
එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද 42ක් හිමිවූ අතර 8 දෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියහ. ඡන්දය දීමෙන් වැලකී සිටියේ ද්‍රවඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ය.
අද (14) උදෑසන 9.30ට විවාදය ආරම්භ වූ අතර පස්වරු 6.00ට විවාදය අවසන් වීමෙන් පසු අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකෙරුණි.
2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පසුගිය 7 වනදා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය විවාදය දෙසැම්බර් මස 5 දක්වා පැවැත්වෙනු ඇත.
අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (15) සිට දින 17ක් පැවැත්වීමෙන් පසු අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6ට සිදුකිරීමට නියමිතය.





