අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි “සෙනෙහසේ කැදැල්ල” වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඊයේ (03) ඇති වූ දරුණු ගින්නෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 12 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. අනතුරෙන් තවත් පුද්ගලයන් 06 දෙනෙකු බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය, හොරණ මහෙස්ත්‍රාත් ලක්මිණි විධානගමගේ විසින් අද (04) පෙරවරුවේදී එම ස්ථානයට පැමිණ සිදු කරනු ලැබීය.
ගින්නට හසුව පිළිස්සී තිබූ මළ සිරුරු මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ පිටතට ගැනීමට කටයුතු කෙරුණි. පිලිස්සුන මළ සිරුරු 10ක් එම ස්ථානයේ තිබී මහේස්ත්‍රාත්වරියගේ පරීක්ෂාවට ලක් විය.
බරපතල ලෙස පිලිස්සුම තුවාල ලද 08 දෙනෙක් ඊයේ රෝහල්ගත කෙරිනි. හොරණ මූලික රෝහලට ඇතුළත් කළ එක් වැඩිහිටියෙක් ඊයේ දිනයේ දීම ජීවිතක්ෂයට පත් විය. බරපතල තත්ත්වයේ සිටි අයෙක් අද පෙරවරුවේ මිය ගියේය.
ගින්නෙන් බේරුණු වැඩිහිටි නිවාසයේ සිටි 50 දෙනෙකු පමණ ඊයේ රාත්‍රියේ බටගොඩ කනිෂ්ට විද්‍යාලයේ තාවකාලිකව නවාතැන් ගන්වා තිබුණි. අද පෙරවරුවේදී ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන්, එම පිරිස මෙම වැඩිහිටි නිවාසයේම අනු ශාඛාවක් වන ගල්පාත ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසය වෙත ආරක්ෂිතව යොමු කිරීමට පියවර ගෙන ඇත.
පොලිස් රැකවරණය යටතට පත් කෙරුණු වැඩිහිටි නිවාසයේ හිමිකරු ද අද පරීක්ෂණ කටයුතු සඳහා එම ස්ථානයට කැඳවා තිබුණි. ගින්න හට ගැනීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අඟුරුවාතොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.







