ඉඳුනිල් කහටපිටිය –
ශ්‍රී ලංකා කණ්ඩායම පරාදය. ලකුණු 299ක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 50 තුළ ලකුණු 293කට සීමා වුනේය. පකිස්ථාන කණ්ඩායම ලකුණු 06ක තියුණු ජයක් වාර්තා කළේය.
මේ පරාජය ගෞරවණීය බව සැබෑය. එහෙත් අපට සිතුණේ මේ තරගය ජයගත හැකිව තිබූ තරගයක් බවය. පකිස්ථාන කණ්ඩායම විශිෂ්ඨ පන්දු රැකීම් කීපයක් වාර්තා කළ බව සැබෑය. නමුත් සමස්ථයක් ලෙස තරගය පුරා උඩපන්දු පහක් ඔවුන් අතින් ගිලිහී ගියේය. වයිඩ් පන්දුවලින් ඔවුන් ලබා දුන් ලකුණු ප්‍රමාණය 26කි. එක් නිපන්දුවකි. ශ්‍රී ලංකා කණ්ඩායමට පකිස්ථාන ක්‍රීඩකයින් ප්රදානය කළ අමතර ලකුණු ප්‍රමාණය ලකුණු 31කි. මෙවැනි තත්ත්වයක් තුළ තරගයක් ජයග්‍රහණය කිරීමට වැඩි අවකාශයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබී තිබුණත් එම අවස්ථාව ගිලිහී ගියේය.
එහෙත් අප දුටුවේ අත් නොහැර සටන් කරමින් අවසන් මොහොත තෙක් ජයග්‍රහණය උදෙසා සටන් කරන ක්‍රීඩාවකි. ජය පරාජයට වඩා වැදගත් වන්නේ ඒ සටනය.
අතීතය මතක්වන සිදුවීම

තවත් එක් කාරනාවක් තිබේ. මේ තරගය අප අපේ අතීතයට රැගෙන ගියේය. අප මීට දශක දෙකකට පෙර ගතකරමින් සිටිමේ මරණය අතින් ගෙන කොළඹ ගිය ජිවිතයකි. කොළඹ බෝම්ම පිපිරෙද්දී කොළඹ ක්‍රිකට් ගැසූ ඉතිහාසයක් තිබිණි. ජාත්‍යාන්තර කණ්ඩායම් කොළඹට පැමිණ ශ්‍රී ලංකාව සමග ක්‍රිකට් ගැසීම ප්‍රතික්ෂේප කළේය.
1996 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සම සත්කාරකත්වය ඉන්දියාව සමග හිමි කරගෙන තිබුණේ ශ්‍රී ලංකාවය. 1996 ජනවාරි මාසයේදී එල්.ටී.ටී.ඊ ය මහ බැංකුවට බෝම්බ ගැසුවේය. එම ප්‍රහාරයෙන් පසු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් ලෝක කුසලාන තරඟයක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කළේය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ද ශ්‍රී ඒ අනුව ගියේය. ඔවුනුත් ලංකාවට ආවේ නැත. මෙම බෝම්බ ප්‍රහාරය ජාත්‍යන්තර කණ්ඩායම්වලට ශ්‍රී ලංකාව තුළ අනාරක්ෂිත බවක් ඇති බවට අදහසක් ලෝකය තුළ පැතිරවූයේය.
ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉවත් වූ අතර, සිම්බාබ්වේ සහ කෙන්යාව ශ්‍රී ලංකාවට පැමිණි ක්‍රීඩා කිරීමට ඉදිරිපත් වූහ. ඉන්දියාව සහ පාකිස්තානය ජාත්‍යාන්තරයේ ඇති වී තිබෙන මේ නරක ප්‍රතිරූපය වෙනස් කිරීමට සහයෝගය දැක්වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ පුහුණු තරග සැසියකට එක් විය.
අතීතයේ අප ක්‍රිකට් ගැසු අයුරු සිහි කරන සිද්ධියක් ඊයේ ස්ලාමාබාද්හි ඇති වුනේය. පකිස්ථානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල වුන 2009 බිහිසුණු අත්දැකීම ද සිහි කැන්දන ඒ සිදුවීම් පෙළ ආරම්භ වන්නේ පකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ෂාගේ නිවසට පෙරේදා (10) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙනි.
තරගය පැවැත්වුනේ ස්ලාමාබාද්හි රාවල්පිණ්ඩි ක්‍රීඩාංගනයේ ය. තරග ආරම්භයට පැය දෙකකට කලින් රාවල් පිණ්ඩි ක්‍රීඩාංගනයට කිලෝ මීටර 10ක් පමණ නුදුරින් පිහිටි ස්ලාමාබාද් දිස්ත්‍රික් අධිකරණය ඉදිරියේ මරාගෙන මැරෙන බෝම්බයක් පිපිරී ගියේය. බෝම්බකරු අධිකරණය තුළට ඇතුළු වී බොම්බය පුපුරුවා ගැනීමට කළ උත්සාහය ව්‍යර්ථ වී තිබිණි. අනතුරුව ඔහු අධිකරණය ඉදිරියේ බෝම්බය පුපුරුවා ගත්තේය. පුද්ගලයෝ 12 දෙනෙක් මිය ගියහ. 30 කට වැඩි පිරිසක් තුවාල ලැබුවේය. පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල විය. පකිස්ථාන පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් පකිස්ථානයම යුද්ධයකට මුහුණ දී ඇති බව X හි සටහනක් තබා පැවසුවේය. ස්ලාමාබාද් තිබුනේ කම්පනයකය. එහෙත් අප රාවල්පිණ්ඩි ක්‍රීඩාංගනයේ දී පකිස්ථානය සමග ක්‍රිකට් ගැසුවේය. එය ක්‍රිකට් තරගයකට වඩා එහා ගිය රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයක ගැඹුර නිරූපනය කරනු දුටුවෙමු.
තරගයේ කතාව

ස්ලාමාබාද් හි රාවල්පිණ්ඩි ක්‍රීඩාංගනයේ පැවත් වුනේ තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා පකිස්ථාන එක් දින තරගාවලියේ පළමු තරගය ය. දිවා රාත්‍රී තරගයකි. කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු රැකීම තේරූහ.
ආරම්භය සාර්ථක විය. මුල්ම කඩුල්ල බිඳවැටෙන්නේ ලකුණු 14 දී ය. සයිම් අයුබ් අසිත ප්‍රනාන්දු හමුවේ ලකුණු 06කට දැවී යන්නේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි. ලකුණු ලබා ගැනීමේ වේගය එතැන් සිට පාලනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිඩකයෝ සමත් වූහ. දෙවැනි කඩුල්ල දැවී යන විට ලකුණු 68කි. ඒ 18 වැනි පන්දු ඕවරයේ දී ය. ෆඛාර් සමාන් ලකුණු 32කට දැවී ගියේය. ඒ වනිඳු හසරංග ගේ පන්දුවක් ඉදිරියේ කුසල් මෙන්ඩිස් ලබා ගත් ස්ටම්ප් කිරීමකිනි.
ඒ වනවිට වනිඳු ක්‍රියාත්මක වි සිටියේය. ඔහු මොහොමඩ් රිස්වාන්ගේ කඩුල්ලත්, බාබර් අසාම්ගේ කඩුල්ලත් ලබා ගත්තේය. 24 වැනි පන්දු ඕවරය වනවිට ලකුණු 95කට කඩුළු 04කි. දැන් අප සිතා ගෙන ඉන්නේ මේ යන විදිහට ගේම අතේ බවය.
එහෙත් තරගය මුලුමනින්ම කණපිට පෙරළෙන්නේ ඉන් අනතුරුවය. ඒ වනවිට පිටියේ රැදී සිටි අංක 06 පිතිකරු සලමන් ආගා සමග එක්වන අංක හත පිතිකරු හුසේන් ටලට්, තරගය තමන්ගේ අතට ගත්තේය. ඉන් අනතුරුව අපට පෙනෙන්නේ රිදෙන්න වදින ප්රහාරයකි.
තරගයේ 44 වැනි ඕවරයේ ටලට් දැවී යන්නේ පන්දු 63ක දී ලකුණු 62ක් ලබා තිබියදී ය. මහීෂ් තීක්ෂණ තමන්ගේ එකම කඩුල්ල ලෙස ටලට් දවා ගන්නේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගනිමිනි.
එතැන් සිට සලමන් ආගා සහ මොහොමඩ් නවාස් දැවැන්ත ප්‍රහාරයකට ශ්‍රී ලංකා පන්දු යවන්නන් හසු කරගන්නේය. තරගය වෙනස් කළ පිතිකරු සලමන් ආගා පන්දු 87ක දී ලකුණු 105කි. ඒ නොදැවී ලබා ගත් ශතකයකි. මෙහොමඩ් නවාස හතරේ පහර 05ක් සහ එක් හයේ පහරක් සමග පන්දු 23ක දී නොදැවී ලකුණු 36ක් රැස් කරන්නේය.
පන්දු ඕවර 50 අවසන්වන විට ලකුණු 299කි. කඩුළු 05ක් දැවී ගොස්ය. ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 300 ඉලක්කයක් අපට ලැබී තිබිණි.

ශ්‍රී ලංකා ඉනිම
එහෙත් ඒ ලකුනු හඹා යෑම ආරම්භ කළ මුල් පන්දුවේ සිට විශ්වාසවන්ත පිතිකරණයක් ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් දකින්නට ලැබුණේ නැත. පැතුම් නිශ්ශංක සමග පිතිකරණය ආරම්භ කළේ ශ්‍රී ලංකාව අනාගත බලාපොරොත්තු සහිතව සංචිතයට එක් කළ කමිල් මිෂාරය. කමිල් මිෂාරගෙන් තබා පැතුම් නිශ්ශංකගෙන් පවා ආත්ම විශ්වාසයක් සහිත පිතිකරණයක ආරම්භය ගිලිහී තිබිණි. පැතුම් සිය පළමු උඩ පන්දුව පළමු ස්ලිප් හි ක්‍රීඩා කළ සලමන් ආගා වෙත ලබා දෙන්නේ ලකුණු 06 දීය. ඉතාම පහසු උඩපන්දුව ආගාගෙන් ගිලිහිනි. යළි ජීවිතය ලැබීමෙන් පවා පැතුම් සුපුරුදු රිද්මයට පැමිණියේ නැත.
මුල් කඩුල්ල බිඳ වැටෙන්නේ ලකුණු 85 දී ය. කමිල් මිෂාර හැරිස් රවුෆ්ගේ පන්දුවක් හමුවේ ෂහීන් ෂා ඇෆ්රිඩි අතට උඩ පන්දුවක් දීමෙන් දැවී යන්නේය. කමිල් මිෂාර ලකුණු 38කට දැවී යනවිට ආසන්න උඩ පන්දු 02ක් ලබා දී තිබිණි. යළිත් අප දකින්නේ ආත්ම විශ්වාසයක් නැති පන්දුවෙන් පන්දුවට කුරුස කොටන පිතිකරුවෙකුගේ පිතිකරණයකි.
අංක 03 පිතිකරු ශ්‍රී ලංකාවේ පිතිකරණ බලාපොරොත්තුව බව කියන කුසල් මෙන්ඩිස්ය. තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම කුසල් මෙන්ඩිස් දැවී ගියේය. හැරිස් රවුෆ් එවූ පන්දුවෙන් කුසල් ගේ කඩුල්ල කුඩුවුනේය.
තතනමින් පහරදී ලකුණු 29 දී ඔහු හරිස් රවුෆ්ට ගොදුරු වන්නේ ඔහුගේ තුන්වැනි කඩුල්ල ලෙසය. කඩුළු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් අතට උඩ පන්දුවක් ලබා දීමෙන් පැතුම් ලකුණු 29කට දැවී යන විට මුළු ලකුණු ගණන 90කි.

බාබර් අසාම් පළමු ස්ලිප්හි සිට විශිෂ්ට උඩපන්දුවක් රැකගැනීමෙන් සධීර සමරවික්‍රම දවා ගන්නා විට ඔහු ලකුණු 39කි. සධීර ආත්ම විශ්වාසයක් සහිතව පිතිකරණයේ යෙදෙමින් සිටියේය. ඔහු සමග එක් වී සිටියේ චරිත් අසලංකය. ඉදිරිපෙළ අනපේක්ෂිත අයුරින් අර්බුදයකට ලක් වෙමින් තිබිණි. කඩුල්ලේ හිඳ කණ්ඩායම ඉදිරියට රැගෙන යෑමේ නායකත්වයේ වගකීම ඒ වනවිට චරිත් අසලංක වෙත පැවරී තිබිණි. එහෙත් ඔහුට ඒ ගැන නිනව්වක් ඇති බව පෙනුනේ නැත.
ඉතාම අනවශ්‍ය ලෙස සීමා ඉරෙන් ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට ගිය චරිත් අසලංක ස්ටම්ප් කිරීමකට ලක් වුනේය. ඒ තරගයේ 32 වැනි පන්දු ඕවරයේ ය. ලකුණු 183ක් ලබා සිටි අවස්ථාවේදී ය.
අනතුරුව ජනිත් ලියනගේ ලකුණු 29කටත්, කමිඳු මෙන්ඩිස් ලකුණු 09කට ත් දැවී යන්නේය. ලකුණු 210ක් වනවිට කඩුළු 07කි. මේ තරගයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වටිනාම පිතිකරණය අප දකින්නේ ඉන් අනතුරුවය. ඒ වනිඳු හසරංගගේ ය. ඔහු තනියෙන් සිය උර මතට වගකීම ගන්නේය. හතරේ පහර 07ක් සමගින් වනිඳු ලකුණු 59ක් ලබා ගන්නේ පන්දු 52ක දීය. අවශ්‍යම අවස්ථාවක ලකුණු 6ක් ලබා ගැනීම වෙනුවෙන් කරන උත්සාහයක දී හතරේ සීමාව අසල සිට බබාර් අසාම් විසින් රැකගන්නා උඩපන්දුව ඔහුගේ ඉනිම නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ මුලු ලකුණු ගණන ලකුණු 279කි. ඔහු දැවී යන්නේ 49 වැනි ඕවරයේ 04 වැනි පන්දුවෙනි. ඒ 9 වැනි කඩුල්ල ලෙසය.
ඒ වනවිට ඔහු සමග කඩුල්ලේ රැඳී සිටි මහීෂ් තීක්ෂණ අවසන් මොහොත දක්වා කරන උත්සාහය අවසානයේ දී ලකුණු 293කින් සීමා විය. මහීෂ් තීක්ෂණ පන්දු 18ක දී ලකුණු 21ක් නොදැවී ලබා ගත්තේය. පකිස්ථාන කණ්ඩායම ලකුණු 06කින් දිනුම්ය.
තරගයේ වීරයා නිසැකවම සලමන් ආගාය. ලකුනු 240ක සීමාව පෙන්වමින් සිටි පකිස්ථාන කණ්ඩායම ලකුණු 300 ඉලක්කයක් දක්වා රැගෙන ගිය ඒ පිතිකරණය නිසැකවම විශිෂ්ටය. එහෙත් තරගයේ නිල නොලත් වීරයා හැරිස් රවුෆ්ය. රවුෆ් ශ්‍රී ලංකා පිතිකරුවන්ට එල්ල කළ ප්‍රහාරය නොවන්නට මේ තරගයේ ප්‍රතිඵලය වෙනස්ය. ඔහු ලකුණු 61කට කඩුළු 04ක් ලබා ගත්තේය. නසීම් ෂා සහ ෆහීම් අෂ්රෆ් කඩුළු 02 බැගින් ලැබූහ.
තුන් ඉරියවු ක්‍රීඩකයෙකුගේ භූමිකාව වනිඳු මෙම තරගයේ දී හොඳම පෙන්වූයේය. එය ශ්‍රී ලංකාව පැත්තෙන් ආශ්වාදය උපදවන්නකි. පිත්තෙන් ලකුණු 59ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ වනිඳු ලකුණු 54කට කඩුළු 03ක් බිඳ හෙළමින් වැඩිම කඩුළු ලාභියා ද වූයේය. අසිත ප්‍රනාන්දු සහ මහීෂ් තීක්ෂණ කඩුල්ල බැගින් ලැබුවේය.
එක්දින ලෝක ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව ඉන්නේ 4වන ස්ථානයේ ය. පකිස්ථානය අපට වඩා එකක් පහළිනි. දිගින් දිගටම සිදුවන වේදනාකාරී පරාජය වෙනස් කරගනිමින් පකිස්ථානය ජයග්‍රාහී මාවතකට පැමිණ තිබේ. එහි ආරම්භය ඔවුන් සලකුණු කරගන්නේ පසුගිය දා අවසන් වූ දකුණු අප්‍රිකාව සමග පැවති තරගාවලියෙනි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යාන්තර විචාරකයින් තැබූ පුරෝකථනයන්වල බර මේ වනවිට හෑල්ලු වෙමින් ඇත. ඉදිරි තරග දෙක අපට වැදගත් වන්නේ ඒ නිසාය.







