ශ්‍රි ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් අරුවක්කාලු පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත භූමිය තුළ දැවැන්ත පරිසර විනාශයක් සිදු කරමින් ශ්‍රි ලංකාවේ බලපවත්නා අණපනත් රාශියක් උල්ලංගනය කරමින් ක්‍රියා කල ආශා මිනරල්ස් පුද්ගලික සමාගමේ විධායක අධ්යක්ෂ රන්මුතුගේ රසික රංගන අතපත්තු යන අය අත්අඩංගුවට පත්වීම වැලැක්වීමට යොදන ලද සියලු උපක්‍රම ව්‍යර්ථ කරමින් පුරා පැය 12 කට අධික කාලයක් වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය මඟින් සිදු කරන ලද ප්‍රකාශ සටහන් කිරීමකින් පසුව අද (11) දින අත්අඩංගුවට ගන්නා ලදී.
- භූ විද්‍යා සමීක්ෂණ පතල් කැණිම් කාර්යාංශ පනත
- පුරා විද්‍යා ආඥා පනත
- කැළෑ ආඥා පනත
- වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත
- මෝටර් වාහන පනත
යන පනත් යටතේ ගැනෙන වැරදි සිදු කරමින් ශ්‍රි ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් අරුවක්කාලු භූමි පරිශ්‍රයේ දැවැන්ත පරිසර විනාශයක් ආශා මිනරල්ස් පුද්ගලික සමාගම විසින් සිදු කරන බවට වනාතවිල්ලුව ජනතාව විසින් පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද පෙත්සමට අනුව වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය මඟින් විමර්ශන ආරම්භ කරන ලදී.
එම විමර්ශනයේදි වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ පොලිස් පරීක්ෂක ජනිත කුමාර ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් ආශා මිනරල්ස් පුද්ගලික සමාගම විසින් ශ්‍රි ලංකා සිමෙන්ති සංස්ථාවේ අරුවක්කාලු පුරා විද්‍යා වටිනාකමක් ඇති ප්රාග් ඓතිහාසික යුගයේ පුරා විද්‍යා වස්තුන් සහිත භූමිය තුළ ඉහත පනත් උල්ලංගණය කරමින් දැවැන්ත පරිසර විනාශයක් සිදු කරන බවට වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය මඟින් සිදු කරන ලද විමර්ශනයේදි අනාවරණය කර ගත්තේය.
ඉන් පසු එම බලකායේ අධ්යක්ෂ පොලිස් අධිකාරි, කේ.ඒ. උදය කුමාර විසින් ලබා දෙන ලද උපදෙස් හා නියෝග මත 2025.08.09 වන දින වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍ර.ධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ සහ පොලිස් පරීක්ෂක ජනිත කුමාර ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදු කර අරුවක්කාලු භූමියේ දැවැන්ත පරිසර විනාශයක් සිදු කරමින් නීති විරෝධි කැණිම් සදහා යොදා ගත් බැකෝ යන්ත්‍ර, එක්ස්කැවේටර් යන්ත්‍ර යන්ත්රාගාර කැණිම් කරන ලද පස් හා ඉන් නිපදවන ලද ඉල්මනයිට් තොඟ සහිත භූමිය තම භාරයට ගත්තේය.
අනතුරුව 2025.08.11 වන දින පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අත්අඩංගුවට ගන්නා ලද දේපල සහිත භූමිය ඉදිරි නඩු දිනය තෙක් ශ්‍රි ලංකා පොලිසිය භාරයේ තැබීම සඳහා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නියෝග ලබා දෙන ලදී.
ආශා මිනරල්ස් පුද්ගලික සමාගම විසින් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ලබා දෙන ලද තීන්දුවට එරෙහිව වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායට සහ වනාතවිල්ලුව පොලිසිය වෙත මෙම විමර්ශනයට අදාලව අත්අඩංගුවට ගන්නා ලද භූමිය ආශා මිනරල්ස් ආයතනයට මුදා හැරීමට සහ එහි සේවකයින් හා ප්‍රධානීන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව අභියාචනා අධිකරණයේ 829/2025 යටතේ රිට් ආඥාවක් ලබා ගන්නා ලදී.
ආශා මිනරල්ස් අධිකරණයත් නොමග යැවීම
මෙහිදි මෙම ආශා මිනරල්ස් සමාගම අභියාචනාධිකරණය නොමඟ යවමින් තැපැල් වැඩ වර්ජනය පවතින අවස්ථාවේදි නීතිපති, වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය සහ වනාතවිල්ලුව පොලිස් ස්ථානයට තැපැල් මඟින් රිට් ආඥා දැනුම් දුන් බව සහ පුත්තලම මහේස්ත්‍රාත් තුමාගේ තීන්දුව ගැන අභියාචනාධිකරණයේ කරුණු නොදන්වා ඒකපාර්ශවිකව අභියාචනාධිකරණය වෙත කරුණු දක්වමින් පහත නියෝග ලබා ගැනීමෙන් පසු ලබා ගන්නා ලද නියෝග සම්බන්ධව ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා පහත කරුණු ප්‍රචාරය කරන ලදී.
- මහේස්ත්‍රාත් තුමාගේ නියෝග මත පොලිසිය භාරයේ රඳවා ගත් භාණ්ඩ නැවත සමාගම භාරයට ලබා ගැනීම.
- තවදුරටත් ඔවුන්ගේ සමාගමේ භාණ්ඩ අත්අඩංගුවට ගැනීම වැලැක්වීම
- සමාගමේ නිලධාරින් අත්අඩංගුවට ගැනීම වැලැක්වීම
- පොලිසිය විසින් ජනමාධ්‍ය වෙත වැටලීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම තහනම් කිරීම.
එම අභියාචනාධිකරණය මඟින් ලබා දෙන ලද තීන්දුවට එරෙහිව අරුවක්කාලු ජනතාව විසින් SC/FR/146/2024 යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් නඩුවක් පැවරු අතර එහිදි අරුවක්කාලු ජනතාව නියෝජනය කරමින් නිතීඥවරු ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු දැක්වීමෙන් පසුව ආශා මිනරල් පුද්ගලික සමාගම විසින් අභියාචනාධිකරණයෙන් ලබා ගන්නා ලද නියෝග අත්හිටුවමින් අතුරු නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ලබා දෙන ලදී.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් පසු ආශා මිනරල්ස් (පුද්) සමාගමේ අධ්යක්ෂ වරයෙකු රසික අතපත්තු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ජනාධිපති නීතිඥවරුන් මඟින් ඇප ඉල්ලා සිටියේය. වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරින් විසින් දීර්ඝව කරුණු දැක්වීමෙන් පසු පුරා විද්‍යා පනත යටතේ වැරදි සිදු කර ඇති නිසා අපේක්ෂිත ඇප ඉල්ලීම පුත්තලම මහේස්ත්‍රාත් තුමිය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
ශ්‍රි ලංකා සිමෙන්ති සමාගමට අයත් අක්කර 4000 ක වපසරියෙන් යුත් භූමියෙන් කොටසක් සිමෙන්ති නිශ්පාදනයට සහ හුණු ගල් නිශ්පාදනයට සහ හුණුගල් ලබා ගැනීමට ඉන්සි සමාගමට වසර 50 කට බදු ලබා දි ඇති අතර, මෙම කාලසීමාව අතරතුරදි ශ්‍රි ලංකා ව්‍යාපාරිකයින් සහ ඕස්ට්‍රේලියානු ව්‍යාපාරකයින් කණ්ඩායමක් ඒකාබද්ධව ඉලුකා ලංකා රිසෝසස් (පුද්) සමාගම නමින් සමාගමක් ආරම්භ කර භූ විද්‍යා පතල් කැණිම් කාර්යාංශයෙන් ගවේෂණ බලපත්‍රයක් ලබා ගෙන අරුවක්කාලු භූමියේ ඛනිජ ගවේෂණය සිදු කර ඇත.
එම සමාගමේ වියදමෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ආරුවක්කාලු භූමියේ හානි ඇගයුම් සමීක්ෂණය මහාචාර්ය ගාමිණි රණසිංහ සිදු කර ඇත. එහිදි කලාප 10 ක් පුරා විද්‍යා සංවේදි කලාප වශයෙන් හදුනාගෙන ඇත. භූ විද්‍යා පතල් කැණිම් කාර්යාංශයෙන් ඉලුකා ලංකා සමාගමට කැණිම් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඉඩමේ අයිතිකරුවන් වන සිමෙන්ති සංස්ථාවෙන් මෙම භූමිය බදු ලබා ගැනීමට යාමේදි සිමෙන්ති සමාගම විසින් ඉලුකා ලංකා සමාගමට බදු ලබා දි නැත. ඒ සමඟම ඇති වු කොරෝනා හා ආර්ථික අවපාතයත් සමඟම ඔස්ටේලියානු ව්‍යාපාරිකයින් මෙම ව්‍යාපෘතියෙන් ඉවත්ව ගොස් තිබේ.
චාමර සම්පත්ගේ දේශපාලන බලපෑම
පසුව මෙම ඉලුකා ලංකා සමාගම නියෝජනය කල ලාංකිය ව්‍යාපාරිකයින් සමාගම් නාමය වෙනස් කර පුත්තලම ඉල්මනයිට නමින් පවත්වාගෙන ගියද භූමිය සිමෙන්ති සංස්ථාව විසින් ලබා නොදිම හේතුවෙන් සිමෙන්ති සංස්ථාවට එරෙහිව පුත්තලම ඉල්මනයිට් සමාගම විසින් අභියාචනාධිකරණයේ නඩුවක් පවරා ඇති අතර මේ දක්වා එම නඩුව අභියාචනාධිකරණයේ විභාග වෙමින් පවති.
ඉන්සි සමාගම විසින් බදු පදනම මත ලබා ගන්නා ලද භූමියෙන් අක්කර 36 ක භූමි ප්‍රමාණයක් ආශා මිනරල්ස් පුද්ගලික සමාගමට ලබා දෙන්නේ නම් එම අවස්ථාවේ එවකට විෂය භාර අමාත්‍යවරයා වු චාමර සම්පත් දසනායක අමත්‍යතුමා දැඩි සතුටට පත්වන බව 2024.01.04 වන දින සිමෙන්ති සංස්ථාවේ සභාපතිවරයාට ලිපියක් මඟින් දැනුම් දි දේශපාලනික වශයෙන් බලපෑමක් සිදු කර ඇත.
ඒ අනුව අශා මිනරල්ස් (පුද්) සමාගමට මාර්ග සමඟ අක්කර 38 ක භූමියක් ඉන්සි සමාගම විසින් බදු ලබා දී ඇති අතර මේ වන තෙක් ඉන්සි සමාගම විසින් අශා මිනරල් (පුද්) සමාගමට පස් ලබා දීමක් සිදු කර නොමැත.
ආශා මිනරල්ස් (පුද්) සමාගම පුරා විද්‍යා භූමියක් ලෙස නම් කර ඇති අලුත් එළුවක්කුලම, වනාතවිල්ලුව, පුත්තලම ස්ථානයේ පහත වැරදි සිදුකර ඇත.
භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශයෙන් බලපත්‍රයක් ලබා නොගෙන පතල් කැනීම, යන්ත්රණුසාරයෙන් පස් සෝදා ඉල්මනයිටි නිපදවීම, ඉල්මනයිට් නැමති ඛණිජ ගබඩා කිරීම සිදුකර ඇත.පහත පරිදි අවස්ථා කිහිපයකදීම පුරා විද්‍යා පනත උල්ලංඝනය කර ඇත.
- මහාචාර්ය ගාමිණී නවරත්න මහතා ප්රාග් ඓතිහාසික ගල් මෙවලම් (අවුරුදු 120000 කට පෙර ජීවත් වූ මානවයා පාවිච්චි කල ආයුධ) හඳුනාගත් පුරා විද්‍යා භූමිය මත ජල ගබඩා ටැංකි 01 ක් කැණීම් නොකර ඉදි කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආශා මිනරල්ස් (පුද්) සමාගමට 2024.05.03 වන දින ලබා දුන් නිර්දේශය උල්ලංඝනය කරමින් එම භූමිය මත කැණීම් කර ජලාශ 02 ක් ඉදිකර ජලය පුරවා ඇත. (කැණීම් කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව නිර්දේශ ලබා දිමෙන් පසු අවසරය භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශයෙන් ලබා ගත යුතුය)
- අවට භූමි ප්‍රදේශය තුල ජලාශ හෝ නිවාස ඉදි කිරීමට කැණීම් කරනවානම් කලාප භාර පුරා විද්‍යා නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් සිදු කල යුතු බවට ලබා දි ඇති 03 වන කොන්දේසිය උල්ලංඝනය කර කැණිම් කර ජලාශ 03 ක් ඉදි කර ඇත.
- අත්‍යවශ්‍ය හේතූන් සඳහා පමණක් ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා වන වැස්ම ඉවත් කිරීම සිදු කල යුතු බවට 06 වන කොන්දේසියේ සඳහන්ව තිබුණත් එම කොන්දේසිය උල්ලංඝනය කර ගොඩනැගිලි ඉදි නොකර අක්කර 10 ක පමණ භූමියක වන වැස්ම ඉවත් කර ඇත.
- ඉන්සි සමාගම විසින් කපා ඉවත් කරන පස් සෝදා ඉල්මනයිට් නිපදවීමට පමණක් අවසර දෙන බවත් භූමියේ පස් කැණිම් කර ඉල්මනයිට් නිපදවීමට අවසර නොදෙන බවට 08 වන කොන්දේසියේ තිබිය දි භූමියෙන් කපන ලද පස් යන්ත්‍රානුසාරයෙන් සෝදා ඉල්මනයිට් කියුබ් 02 ක් පමණ නිපදවා ඇත. (අශා මිනරල්ස් (පුද්) සමාගමේ අධ්යක්ෂවරයකු වන රසික අතපත්තු යන අය පුත්තලම ම/උ 41104 යටතේ සිදු කරනු ලැබූ අපේක්ෂිත ඇප ඉල්ලීමේ ඔහුගේ දිවුරුම් ප්‍රකාශයේ 42 කරුණ යටතේ යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පරීක්ෂණ කැණීම් සඳහා වලවල් හෑරීමේ දී ගොඩගන්නා ලද පස් යොදා ගෙන යන්ත්‍රානුසාරයෙන් පස් සෝදා ඉල්මනයිට් නිපදවීම සිදු කළ බවට ප්‍රකාශ කර ඇත. නමුත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරා විද්‍යා බලපෑම් ඇගයීම් සහකාර අධ්‍යක්ෂකවරිය ප්‍රකාශයක් ලබා දෙමින් පරීක්ෂන කැණීම්වලින් ගොඩගන්නා ලද පස් වලින් යන්ත්‍රවලින් සේදීම සඳහා ප්‍රමාණවත් පස් ප්‍රමාණයක් ලබා ගත නොහැකි බවට දන්වා ඇත.)
- පුරා විද්‍යා කලාප භාර නිළධාරියාගේ අධීක්ෂණයකින් තොරව කැණිම්කර පස් සෝදන යන්ත්රාගාරය සවි කර ඇත.
- පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ඉහත ස්ථානයේ සිට කි.මී. 03 ක් පමණ දුරින් ඇති ලුණු ඔයේ සිට පොළව යටින් නල යොදා ජලය පුරා විද්‍යා භූමිය මත ඉදි කර ඇති ජල ගබඩා ටැංකියට රැගෙන විත් ඇත. (මීටර් 500 කට වඩා දිගට නල යොදන්නේ නම් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර ගත යුතු බව 2020.10.04 දිනැති අංක 1152-14/2000 අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් කර ඇත.)
- කැණීම් සිදු කිරීමට යොදා ගත් රබර් රෝද මත ධාවනය කරන ලෝඩර් යන්ත්‍ර 02ක මෝටර් රථ පනත අනුව ලියාපදිංචි කර නැත.
- වාරිමාර්ග දෙපාර්තමේන්තුව කළමනාකරණය කරන ලුණු ඔයෙන් ජලය ලබා ගැනීමට ඉල්ලුම් කර තිබියදී අවසන් අවසරය ලබා දීමට පෙර ජලය ලබා ගැනීම සිදුකර ඇත. (ආශා මිනරල්ස් (පුද්) සමාගමේ අධ්යක්ෂ වරයෙකු වන රසික අතපත්තු යන අය ජන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ලුණු ඔයෙන් ජලය ලබා ගත් බව ප්‍රකාශ කරයි)
- වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මායිම් ගල් ඇතුළත පිහිටි ලුණු ඔයේ ඉවුර කපා සිලින්ඩරාකාර පොකුණක් ඉදි කර ජලය ලබා ගැනීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරයෙන් තොරව සිදුකර ඇත.
ආශා මිනරල්ස් ලොක්කන් විමර්ශන මග හැරීම
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් පසු ආශා මිනරල්ස් (පුද්) සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන රසික අතපත්තු ජනාධිපති නීතිඥවරුන් මගින් පුත්තලම ම/උ 41104 යටතේ අපේක්ෂිත ඇප ඉල්ලා සිටි අතර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් දීර්ඝව කරුණු දැක්වීමෙන් පසු පුරා විද්‍යා පනත යටතේ වැරදි සිදුකර ඇති නිසා අපේක්ෂිත ඇප ඉල්ලීම මහේස්ත්‍රාත් තුමිය විසින් ප්‍රතික්ෂේප කරන ලදි.
1982 අංක 17 දරණ සමාගම් පනත අනුව පුද්ගලික සමාගමක අධ්යක්ෂ වරුන් සමාගමේ අයිතිකරුවන් වශයෙන් ඔවුන් සමාගම සිදු කරන කාර්යයන් සඳහා වගකීමට බැදී සිටි. එම නිසා ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කිරීමට ඉහත විමර්ශනයට අදාලව ආශා මිනරල්ස් පුද්ගලික සමාගමේ හිමිකරුවන් වන සමාගමේ අධ්යක්ෂ වරුන් දෙදෙනාට 2025.10.27 දින සිට අවස්ථාවන් ගණනාවකදි දැනුම් දුන් නමුත් එම සෑම අවස්ථාවකම විවිධ හේතු දක්වමින් වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය වෙත පැමිණ ප්‍රකාශ ලබා දීම පැහැර හරින ලදී. අධ්‍යක්ෂකවරුන් පදිංචි ලිපියන්ට වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරින් කිහිප අවස්ථාවකදි ගියමුත් එම නිවාස වලින් ඔවුන් පලාගොස් ඇති අතර තාවකාලිකව පදිංචි සිටින බවට අනාවරණය වු ස්ථාන කිහිපයක් පිළිබදව සොයා බැලුවද ඔවුන් එම ස්ථානද මඟ හැර ගොස් ඇති බවට අනාවරණය වි ඇත.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායට 2025.10.30 වන දින පුද්ගලයකු ඇමතුමක් ලබා දී අශා මිනලර්ස් (පුද්) සමාගමේ අධ්යක්ෂවරුන් විදේශ ගත වීමට සූදානමක් ඇති බවට තොරතුරක් ලබා දීමත් සමඟ ඉහත කරුණු පදනම් කරගෙන ආශා මිනරල් ආයතනයේ අධ්‍යක්ෂවරුන්ට විදේශ ගත වීම වැළැක්වීම සඳහා 2025.10.31 වන දින පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ ආගමන විගමන පාලකට නියෝගයක් ලබා දී ඇත.
අත් අඩංගුවට ගැනීම
2025.11.10 වන දින ආශා මිනරල් ආයතනයේ අධ්‍යක්ෂක වරයෙකු වන අංක 263/03/ඩී, දේවාල පාර, කොස්වත්ත, තලංගම උතුර ලිපිනයේ පදිංචි අවුරුදු 37 ක් වයසැති රන්මුතුගේ රසික රංගන අතපත්තු (ජා.හැ.අංකය – 883120191V) යන අය නීතිඥවරුන් තිදෙනෙකු සමඟින් ප්‍රකාශයක් ලබා දීම සදහා පැය 1000 ට වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායට පැමිණිමෙන් පසු පුරා පැය 12 කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගත්තේය.
ඉන් පසු 2009 අංක 66 දරණ පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ 63 1(අ) වගන්තිය, 1940 අංක 07 දරණ පුරා විද්‍යා වස්තු ආඥා පනතේ 44 වන වගන්තිය, මොටර් වාහන පනතේ 01 වන කොටසේ 2 (1) වගන්තිය, 2009 අංක 65 දරණ වන සංරක්ෂණ පනත සහ වාරිමාර්ග පනත උල්ලංඝනය කරමින් වැරදි සිදු කර ඇති බවට ප්‍රකාශ සටහන් කිරීමෙන් පසුව පහදා දි 2025.11.11 දින වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේදි පො.ප. ආර්.ඒ. ජනිත කුමාර ඇතුළු නිලධාරින් කණ්ඩායම විසින් පැය 0735 ඉහත නම් සදහන් රන්මුතුගේ රසික රංගන අතපත්තු යන අය අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සදහා වනාතවිල්ලුව පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන අතර මෙම සැකකරු 2025.11.11 වන දින පුත්තලම ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.
මෙම වැටලීම රජය මඟින් ක්‍රියාවට නංවා ඇති Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ පොලිස්පති තුමාගේ සෘජු අධික්ෂණ යටතේ ක්‍රියාත්මක වන වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්යක්ෂ, පොලිස් අධිකාරි කේ.ඒ. උදය කුමාර මහතාගේ නියෝග පරිදි ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් පො.ප. ජනිත කුමාර ඇතුළු නිලධාරින් කණ්ඩායම විසින් සිදු කර ඇත.







