ලබන වසර පුරාම සිදුකරන මැණුම් කටයුතුවලින් පසුව 2027 පළමු කාර්තුවේ සිට ආණ්ඩුව දේපල බද්දක් ගැසීමට ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගතවී සිටින බව ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
එම බද්ද ගැන කිසිවක් ප්‍රකාශ නොකරන්නට ආණ්ඩුව ප්‍රවේශම් වී ඇතැයි ද ඔහු කියයි. මන්ත්‍රීවරයා පවසන්නේ බදු අඩු කිරීමට හොඳටම හැකියාව තිබෙද්දීත් මේ වනවිට පනවා ඇති විශාල බදුවල කිසිවක් අඩු කිරීමට කටයුතු නොකර තමන්ට ඡන්දය දුන් ජනතාව පාපිස්සක් කර ඇති බවය.
අද අය වැය කතාවට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.
රටේ ජනතාව දැනගත්තොත් හොඳයි බදු අඩු කරන්නේ නැත්තේ බදු අඩු කිරීම සඳහා ඕනෑවටත් වඩා හැකියාවක් තියෙද්දි. ඒ සඳහා අයි.එම්.එෆ් එකත් එක්ක අඩුම ගානේ එක සාකච්ඡාවක් හෝ ජනාධිපති දිසානායකගේ රජය පැවැත්වුවේ නෑ කියලා කණගාටුවෙන් හෝ අපට කියන්න වෙනවා.
තමන්ට ඡන්දය දුන්න ජනතාව පාපිස්සට දැම්මා කියන්නේ මේක තමයි. බොහෝ අය බලාපොරොත්තු වුනා ඊයේ අයවැයෙන් අඩුම ගානේ 2026 වසරටවත් බදු සහනයක් ලැබෙයි කියලා. හැබැයි එහෙම දෙයක් නෑ… ඒ දැවැන්ත බදු ඒ විදිහටම තියනවා.
ඒ වෙනුවට මොකද වෙන්නේ. 2027 ඉඳලා දේපල බද්දක් ක්‍රියාත්මක වෙනවා. ඒකට කවුරුත් කතා කළේ නෑ. 2026 වසර පුරාම ඔප්පු බලන්න ඉඩම් මැනුම් කරන්න රජය ක්‍රියාත්මක වෙනවා. ඊයේ ජනාධිපති තුමා කිව්වා පොඩි අදහසක් දෙකක්. සමහර වෙලාවට ග්‍රවුන්ඩ් එකක් වැලියු කරන්නේ එක විදිහට. ඉන්ඩස්ට්‍රියල් ප්‍රොපටි එකක් වැලියු කරන්නේ තව විදිහට වගේ කතාවක්. හැබැයි කිව්වේ නැත්තේ මොකක් ද?
2027 පළවෙනි කාර්තුවේ දී මේ දේපල බද්ද ගහන්න එකඟවෙලා තියනවා අයිඑම්එෆ් එකත් එක්ක. ඒක එදා එතුමා කිව්වේ නෑ. ඒ නිසා බලාපොරොත්තු වෙන්න 2027 වනවිට දේපල බද්දක් ගෙවන්න. “ මන්ත්‍රීවරයා පැවසුවේය.







