මනම්පිටිය නිමල් ජයරත්න –
-
තහනම් කළේ තාවකාලිකව…. මැනීම් කර සාධාරණව කන්න බදු ක්‍රමයට ඉඩම් ලබා දෙනවා… මහවැලිය කියයි..
වසර පහළොවක පමණ කාලයක සිට මහවැලි බී කලාපයේ දිඹුලාගල සොරුවිල ගම්මානයේ වර්ෂා පෝෂිත ඉඩම්වල වී, මුං, ඉරිගු ,කජු, ඇතුළු විවිධ භෝග වගා කරමින් ජීවත් වූ ගොවි පවුල් 50කගේ පමණ වගා කටයුතු තහනම් කරමින් ඔවුන් ගොවිබිම්වලින් ඉවත් කිරිම නිසා පුද්ගලයින් තුන්සියයකට ආසන්න පිරිසක් දැඩි අසීරුතාවට පත්ව ඇති බව සොරුවිල පාරම්පරික ගොවි එකමුතුව ප්‍රකාශ කරයි.
දිඹුලාගල සොරුවිල ගම්මානයේ පාරම්පරික ගොවීන් සඳහන් කරන්නේ වර්ෂා පෝෂිත ජලයෙන් පමණක් වගා කරන තමන්ට, මෙම භූමි පැවති රජයන් සහ බලයට පත් වත්මන් රජය සින්නක්කරව ලබා දෙන බවට පොරොන්දු වූ බවය. ගොවීන් කියන්නේ එම පොරොන්දු කඩවී ඇති බවය.
තම පාරම්පරිකව ගොවිතැනේ යෙදුනතමන්ට වෙනත් කිසිදු වගා භූමියක් නොමැති බවත්, වසර ගණනාවක්ම මෙම ඉඩම්වල වගාකරමින් දරු පවුල් නඩත්තු කරමින් විශාල ආදායමක් මෙන්ම අස්වැන්නක් ගෙන ජාතික නිෂ්පාදනයට එක් කළ බවත් ඔවුහු පවසති.

එවැනි පරිසරයක තම පාරම්පරික ගොවි සාමාජිකයින් භූමිවලින් ඉවත් කිරීම බලවත් අසාධාරණයක් බව පාරම්පරික ගොවි එකමුතුවේ සම්බන්ධීකාරක සොරුවිල ගම්මානයේ දෙදරු පියෙකු වන කේ ගනේෂ් මූර්ති ලංකාසරට අදහස් දක්වමින් සඳහන් කළේය.
මේ වනවිට පවතින වර්ෂාවෙන් භූමි සකසා වී වැපිරීම් සිදුකරන විට, මහවැලි නිලධාරීන් පැමිණ ඒවා තහනම් කළ බව ඔවුහු කියති. ගොවීන් බැංකු ණය ලබා ගනිමින් බිත්තර වී ලබාගෙන ගොවිතැන් ආරම්භ කළ බව පවසන සම්බන්ධීකාරකවවරයා පවසන්නේ මහවැලි නිලධාරීන් ගත් හදිසි තීරණයක් නිසා ගොවීන් කරකියා ගත නොහැකි අඩියකට පත් වී ඇති බවය.
මෙම අසාධාරණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාරම්පරිකව කරගෙන ආ වගා කටයුතු අඛණ්ඩව සිදුකිරීමට කෘෂිකර්ම හා මහවැලි අමාත්‍යවරයාගේත්, ජනාධිපතිවරයාගේත් අවධානය යොමු කරමින් තමන්ට එම අවස්ථා ලබාදෙන ලෙස සොරුවිල ගම්මානයේ පාරම්පරික ගොවීහු සඳහන් කරති.
සොරුවිල ගම්මානයේ පාරම්පරික ගොවීන් නගන මෙම චෝදනාව සම්බන්ධව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ දිඹුලාගල දළුකාන කුඩාවැව වසම් බාර ඒකක කළමනාකාර රංජිත් ලාල් ගෙන් දුරකථනයෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, එම ඉඩම් කීපදෙනෙක් සංවර්ධනය කරන බවත්, කීපදෙනෙක් සංවර්ධනය කිරීම ගම්මානයේ තවත් පිරිසකට සිදුකරන අසාධාරණයක් බවත්ය.
ඉඩම් කන්න බදු ක්‍රමයට ලබාදෙන තෙක් තහනම් කළ බවත්, එම ඉඩම් මැනුම් කටයුතු කර සාධාරණව ලබාදීමට පියවර ගන්නා බවයි.







