සූරියවැව – නුවන් ජයසේකර –
යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් ලබා දුන් බුද්ධි තොරතුරක් අනුව උඩවළව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සහ තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් එක්ව හම්බෙගමුව උණ කන්ද රක්ෂිතයේ සිදු කළ ඒකාබද්ධ විශේෂ මෙහෙයුමකින් මහා පරිමාණයේ ගංජා හේනක් කපා වේලා අලෙවි කිරීමට සූදානම් කරමින් තිබූ වියලි ගංජා කිලෝ 406 ගෑම් 800ක්, ගංජා පැළ 12825ක් හා මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (25) රාත්‍රී අත්අඩංගුවට ගෙන තතණමල්විල මූලාස්ථාන පොලිසිය වෙත ඉදිරිපත් කර තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්ද කැටිය කොළඹ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු හා 58 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරුවන් සම්බන්ධයෙන් යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උඩවලව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා තණමල්විල මූලස්ථාන පොලිසියේ පොලිස් නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකර තිබේ.

වැටලීම සිදු කරන අවස්ථාව වන විටත් විසි එක් හැවිරිදි සැකකරු අලෙවි කිරීම සඳහා වියලි ගංජා පාර්සල් කරමින් සිට ඇති අතර පනස් අට හැවිරිදි සැකකරු ගංජා වගාවක් සඳහා සාත්තු කරමින් සිට ඇත.
අත් අඩංගුවට පත් වියලිගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙක හමාරකට ආසන්නබව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරුවන් කලක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවද අනාවරණය වී තිබේ.
වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තණමල්විල මූලස්ථාන පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති අතර සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වැටලීම සිදු කළ ස්ථානයට මොණරාගල ජේෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරි කමල් එන් ගුණවර්ධන, තණමල්විල සහකාර පොලිස් අධිකාරි බී.යූ.පී. මානයන්ගම, තණමල්විල මූලාස්ථාන ප්‍රධාන පොලිස්පරීක්ෂක ඩීඑම්පී බණ්ඩාර ඇතුළු නිලධාරින් කණ්ඩායමක්ද පැමිණිි අතර උඩවලව විශේෂ බලකා කදවුරේ අණදෙන නිළදාරි පොලිස් පරික්ෂක නුවන් කුමාර ප්‍රධානත්වයෙන් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, යුද හමුදා බුද්ධි නිලධාරීන් හා තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එක්ව වැටලීම සිදුකර සැකකරුවන් සමඟ ගංජා අත්අඩංගුවට ගෙන තිබේ.







