ලලිත් කන්නංගර නොහොත් බස් ලලිත් නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා අද ඩුබායි රාජ්‍යයේ දී අත් අඩංගුවට ගත් බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
රාජ්‍ය බුද්ධි අංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය, ඒකාබද්ධව ක්‍රියාත්මක වූ මෙහෙයුමක දී ඔහුව අත් අඩංගුවට පත් වී ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
මහා පරිමාණ හෙරොයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන “බස් ලලිත්” නැමැත්තා වෙඩිතැබීම්, කප්පම් ගැනීම ඇතුළු අපරාධ චෝදනා රැසක් එල්ලව සිටින අයෙකි.
මොහු, දැනට මියගොස් ඇති අපරාධකරුවන් දෙදෙනෙකු වන සමයන් සහ ඌරු ජුවාගේ සමීපතමයෙක් ද වෙයි.
රවිඳු සංඛ ද සිල්වා හෙවත් “බූරුමූණා” නැමැත්තා ලවා 2022 වසරේ හංවැල්ලේදී මුස්ලිම් ව්‍යාපාරිකයෙකුත් , 2023 වසරේ සැප්තැම්බර් මස 30වනදා හංවැල්ල නෙළුවත්තුඩුව ප්‍රදේශයේදී තවත් ව්‍යාපාරිකයෙකුත් ඝාතනය කිරීම, 2023 වසරේදී මන්න රොෂාන් සහ ඔහුගේ මිතුරෙකු ඝාතනය කිරීම, 2024 වසරේදී හංවැල්ල ප්‍රදේශයේදී වජිර නිශාන්ත නැමැත්තා සහ මීට පෙර ඝාතනය කළ මන්න රොෂාන්ගේ සොහොයුරෙකු ඝාතනය කිරීම, 2025 වසරේ අගෝස්තු 12 වැනිදා හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව හෙවත් බනා මන්ත්‍රී නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම, 2025 වසරේ ජූලි 06 වැනිදා කොටහැර පොඩ්ඩා නැමැත්තා සහ දෙමටගොඩ රුවන් නැමැත්තා කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී ඝාතනය කිරීමට උත්සාහ කිරීම “බස් ලලිත්” නැමැත්තාට එල්ලවී ඇති චෝදනායි.
ඊට අමතරව කප්පම් ගැනීමේ සිදුවීම් 15කට අදාළව ද ඔහුට චෝදනා එල්ලවී තිබේ.
“බස් ලලිත්” නමැති අපරාධකරුගේ තර්ජන හමුවේ හංවැල්ල, මීගොඩ සහ කොස්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් රැසක් ද පසුගිය කාලයේ සිය නිවෙස් අතහැර ගොස් තිබුණි.
සැකකරු නුදුරු දිනකදී මෙරටට රැගෙන ඒමට නියමිත බව පොලීසිය ප්‍රකාශ කළේය.
කෙසේ වෙත්ත තහවුරු කරන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ ලලිත් කන්නංගර අත් අඩංගුවට ගැනීම සම්බන්ධව මේ වනතුරු රජයට නිල වශයෙන් තහවුරු කිරීමක් සිදුකර නැති බවය.
මින් පෙර ද ලලිත් කන්නංගර අවස්ථා දෙකක දී ඩුබායි පොලිස් අත් අඩංගුවට පත්වුව ද ඔහු නීතිඥයින් මාර්ගයෙන් අත් අඩංගුවෙන් නිදහස් වී තිබිණි. ඇල්ටො ධර්මේ නැමැත්තා ද එසේ අත් අඩංගුවට පත් වී නීතිමය තත්ත්ව යටතේ නිදහස් වුන අපරාධකරුවෙකි.







