විදුලි බල වෘත්තීය සමිති සහ විෂය භාර අමාත්‍යවරයා අතර අද ( 13) පැවති සාකච්ඡාව අතරතුර එම සාකච්ඡාවට සහභාගී වූ ඒකාබද්ධ ජාතික නිදහස් සේවක සංගමයේ ලේකම්වරයාට සහ සභාපතිවරයාට පහර දී රැස්වීමෙන් ඉවත් කිරිමේ සිද්ධියක් පිළිබඳව වාර්තා වේ.
චමින්ද ගමගේ ඉහළ රැස්වීම් ශාලාවේ සිට ආරක්ෂක නිලධාරීන් විසින් ඇදගෙන එන අකාරයත් ඇදගෙන පැමිණ ගොඩනැගිල්ලෙන් පලවා හරින ආකාරයත් සියලුම රූපවාහිනී කැමරාවල සජීවීව සටහන් වී තිබිණි.
චමින්ද ගමගේ ප්‍රකාශ කළේ තමන්ට ආරක්ෂක නිලධාරීන් පහර දුන් බවත්, ඕකා එළියට ඇද දානවා යැයි කී ඇමති නියෝගය අනුව එම නිලධාරීන් තමන්ව ඇදගෙන පැමිණ එළියට දැමු බවත්ය. එමෙන්ම තමන්ගේ ලියකියවිලි, මුදල් පසුම්බිය සහ හැඳුනුම්පත් ද අස්ථාන ගතවී ඇති බව ඔහු මාධ්‍යය වෙත කීවේය.
ඔහු මාධ්‍ය අමතා මෙසේ කීවේය.
“අපි ලියාපදිංචි සේවක සංගමයක්. මම ලියුම බාර දුන්නේ වෙන එකක් නිසා නෙමෙයි. ආණ්ඩුකම ව්‍යවස්ථාවේ අනුලංඝනීය ව්‍යවස්ථා ටික කඩ කරලා තියනවා. ශාසනයට තියන ඒකීය අයිතිය නැති කරනවා ව්‍යවස්ථාවෙන් කියලා කියනකොට මට පහර දුන්නා.”
“ඒ වගේම මමත් එක්ක ආව අපේ සේවක සංගමයේ සභාපතිවරයා ඔහු මේක වීඩියෝ කරනකොට සියලුම දෙනා ඔහුව පැත්තකට අරන් ගිහිල්ලා හිර කරලා “මකපිය ඔකේ තියන දේවල්” කියලා කිව්වා. මේ සිකියුරිටි මිනිස්සු උඩ ඉඳන් පල්ලෙහාට මාව තල්ලු කරන් ආවා. අමාත්‍යවරයා කීවා කෙලින්ම ඕකා එළියට දාන්න කියලා. ලේකම්වරයා මාධ්‍ය වෙත පැවසුවේය.
එම සංගමයේ සභාපති ප්‍රියන්ත මදුරකුමාර මාධ්‍ය ඉදිරියේ කීවේ මෙවැනි කතාවකි.
“විදුලි බල මණ්ඩලයේ ජාතික සම්පත විකුණන්නේ කොහොමද කියන එක ගැන තමයි කතාව ආවේ. මේක ඉවසන් ඉන්න බැරිම තැන ගමගේ නැගිටලා කියන්න ගත්තා මොකක් ද මේ කරන්න හදන සෙල්ලම කියලා. කතා කරන එක මම මගේ පුද්ගලික ෆෝන් එකෙන් වීඩියෝ කරමින් හිටියෙ. “
“එතකොට අමාත්‍යවරයා ඒකට විරුද්ධ වුනා. මාව එළියට ඇදගෙන ගියා. මාව වීඩියෝ කරපු සියල්ලම ඩිලීට් කළා.” ඔහු කීවේය.
මේ අතර චමින්ද ගමගේ තමන්ට කැරකිල්ලක් සහිතව ක්ලාන්ත ගතියක් එන බව කියමින් බිම ඉඳගත්තේය. ඒ අවස්ථාවේ දී 1919 ගිලන්රථයක් ගෙන්වා බලශක්ති අමාත්‍යාංශ පරිශ්‍රයේ සිට ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.
අවසානයේ දී සිදුවීම වාර්තා කිරීමට ගිය මාධ්‍යය ද එම ස්ථානයෙන් ඉවත් කළ ආරක්ෂක අංශ කීවේ අදාල වෘත්තීය සමිති ක්රියාකාරියින් දෙදෙනා ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට පහර දී තුවාල කර ඇති බවය.
එමෙන්ම අමාත්‍යාංශය පාර්ශවයෙන් කීවේ සාකච්ඡාවට අනාරාධිතව පැමිණි, අල්ලස් චෝදනා මත වැඩ තහනමට ලක් වූ පුද්ගලයෙක් කලහකාරීව හැසිරුණ බවය.
එක් වරම සභාව මැදින් නැගී සිට අමාත්‍යවරයා වෙත ආවේගයෙන් කෑ ගසමින් යෑමට උත්සාහ කිරීමත් සමග ආරක්ෂක අංශ ඔහුව සභාවෙන් ඉවත් කළ බව ද අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය.
ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධව පවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා ලංකා විදුලි සේවක සංගමය, ගණකාධිකාරී සංගමය, ස්වාධීන විදුලි සේවක සංගමය, තාක්ෂණික ඉංජිනේරු සහ අධිකාරී සංගමය සහ මානව සම්පත් වෘත්තිකයිනගේ සංගමය එක්ව සිටියේය.
ලක්බිම තොරතුරු තාක්ෂණ සංගමය, විධායක නොවන ශ්‍රේණියේ උපාධිධාරි සංගමය ලංකා විදුලි පොදු සේවක සංගමය, ලංවිම අධිකාරී සංගමය, සමසථ ලංකා පාරිභෝගික සම්බන්ධීකාරක සංගමය මෙම සාකච්ඡාවට පැමිණ සිටි බව වාර්තා වේ.







