ශ්‍රියානි විජේසිංහ –
අම්පාර දිස්ත්‍රික්කය තුළ ආරම්භ කර ඇති වෛද්‍ය වැඩ වර්ජනය ලබන සතියේ සිට නැගෙනහිර පළාත තුළ සියලුම රෝහල්වෙත ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.
වැඩවර්ජනයට හේතු වූ දෙහිඅත්තකණ්ඩිය රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනාගේ ස්ථානමාරු ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව ක්‍රියාත්මක කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස සෞඛ්‍ය ලේකම්වරයා විසින් පසුගිය 2වනදා සිව්පුද්ගල කමිටුවක් පත්කළ නමුත් අදාල කමිටු වාර්තාව මෙතක් සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලබා දීමට කටයුතු කර නොමැති බව සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පවසා සිටියි.
ඉතා සුළු ප්‍රශ්නයක් හෝ විසඳා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයට නොහැකි වී ඇත්තේ වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු වැඩපිළිවෙළ පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන නිසා දැයි සැකයක් මතුවන බව ද ලේකම්වරයා සඳහන් කළේය.
නැගෙනහිර පළාතේ සියලුම රෝහල් ඉදිරිපිට ලබන අගහරුවාදා උද්ඝෝෂණයන් පවත්වා අනතුරුව විධායක සභාව රැස්ව ඉදිරි ක්‍රියාමාර්ගයන් එදිනම තීරණය කරන බව ව්‍යෛ සුගතදාස පැවසුවේය.
අම්පාර දිස්ත්‍රික්කය පුරා රෝහල්වල ක්‍රියාත්මක වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් මහත් අපහසුවක පත්ව ඇති බවත් මාස ගණනාවක් බලා සිට සැත්කම් සදහා දින ලබා දුන් රෝගීන් මහත් දුෂකරතාවන්ට මෙන්ම ජීවිත අවදානම්වලට ද ලක්ව ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.







