-
මේ තරගාවලියේ කණ්ඩායමක් ලබා ගත් ඉහළම ලකුණු ගණන ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කරයි… අපට ලකුණු 203ක ඉලක්කයක්!
ආසියානු කුසලාන තරගාවලියේ 18 වැනි තරගය පැවැත්වෙමින් ඇත්තේය. කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයාගේ පන්දු රැකීම තේරුවේය. ඉතින් මරුය. පිතිකරණයේ යෙදුන ඉන්දියානු කණ්ඩායම ලකුණු 202ක් ලබාගෙනය.
මේ තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු ගණන 188කි. ඉන්දියාව ඕමාන කණ්ඩායමට එරෙහිව ලකුණු 188ක් ලැබුවේය. ඇෆ්ගනිස්ථානය හොංකොං කණ්ඩායමට එරෙහිව ලකණු 188ක් ගැහුවේය. මේ තරාගාවලියේ කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා වන්නේ අදය. ඇත්ත වශයෙන්ම හොං කොං කණ්ඩායම ඉන්දියාවට දුන්න ගේමවත් අපට දෙන්නට පුලුවන්කමක් තිබුණේ නැත. අපේ පන්දු යවන්නන් පන්දු ඕවරයක දී ලකුණු 10ක් ලබා නොදී ඉන්නට දැරූ දුක හිතෙන උත්සාහය හැර වෙන කිසිම දෙයක් මේ පන්දු යැවීමේ දී අප දුටුවේ නැත.
. 
සලකුණු කළ යුතු පන්දු රැකීමක් නම් දුටුවේය. 17 වැනි ඕවරයේ පළමු පන්දුවේ දී ඒ දුෂ්මන්ත චමීර පන්දු යැවීමෙන් අනතුරුව පසුපසට දිවගොස් හර්දික් පාණ්ඩ්‍යා දවා ගැනීමට ලබා ගත් විශිෂ්ට උඩ පන්දුවය.
ඒ හැරුණ විට ඩුබායි ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ දී අප දුටුවේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් මළ ගෙදරකි. අභිෂේක් ෂර්මා පන්දු 31ක දී ලකුණු 61කි. හතරේ පහර 8කි. හයේ පහර 02කි. මේ පොඩි එකා අවසන් මහා තරගය සඳහා අද පිතිකරණ පුහුණුවක යෙදුනේය. සංජු සැම්සන් ලකුණු 39කි. පන්දු 23කි. හයේ පහර 3කි. එක් හතරේ පහරකි.
තිලක් වර්මා නොදැවී ලකුණු 49කි. පන්දු 34ක් තුළ හයේ පහර එකකි. හතරේ පහර 4කි. අක්සාර් පටෙල් නොදැවී ලකුණු 21කි. ඒ පන්දු 15ක් තුළය. හයේ පහරක් සහ 4 පහරක් ඊට ඇතුළත්ය.
එක පන්දු යවන්නෙක් බේරුණේ නැත. හසරංග ඕවර 4ට ලකුණු 37කි. නුවන් තුෂාර නෝ බෝල් එක්ක සහ වයඩ් 02ක් සමග ලකුණු 43කි. කඩුළු නැත. පන්දු යවන්නෝ 06 දෙනෙක් පන්දු යැවූහ. හැම එකාටම ඕවරයට ලබා දුන් ලකුණුවල සාමාන්‍යය ලකුණු 09ට වැඩිය.
අතිරේක ලකුණු 14කි. වයඩ් පන්දු 7කි. නෝ බෝල් පන්දු 2කි ලෙග් බයිස් 5කි. ඒකත් මරුය.
දැන් අපට අභියෝගයක් තිබේ. ඒ මේ තරගාවලියේ වැඩිම ලකුණු ගණනකින් පරාද නොවී බේරීමය. ඇෆ්ගනිස්ථානය හොංකොං කණ්ඩායමට එරෙහිව ලකුණු 94ක් ජයග්‍රහණයක් ලැබුවේය. අප ඉන්නේ ඒ බරපතල අභියෝගය ඉදිරියේය. මක් නිසාද යත් .ජාත්‍යාන්තර විස්සයි 20 ක්‍රිකට් තරගයක දී ලකුණු 200ක් හඹා ගොස් ජයග්‍රහණය කළ අවස්ථාවක් වාර්තා නොවන බැවින්ය. හඹා ගිය වැඩිම ලකුණු ගණන ලකුණු 194කි.
මේ අස්සේ ලියා තැබිය යුතු තවත් කතාවක් තිබේ.
මෙන්දකයා ( අබේසේකර) තරගය පටන් අරන් පවර් ප්ලේ එකේ දි කතා කළේය. ලෝකයේ එහා කෙළවරේ ඉඳන් ඌත් මැච් බලන්නේය. මම ඌට මේ මැච් එක බලන්නට ඕනෑ විදිහ කිව්වෙමි.
“මම නම් ඉඳගත්තේ දෙක්ක දාගෙන. මොකද අමුවෙන් බලන්න බෑ… මිනියක් එම්බාම් කරනවා වගේ වැඩක් නේ මචං.”
මෙන්දකයාත් දෙකත් දාගන්නට ඇතියි විශ්වාස කරමි. ඔයාලත් එහෙම කරන්න…







