අසේල කුරුළුවංශ –
දියවඩන නිලමේවරයා තොරා ගැනීම සඳහා සිදුකරන ඡන්ද විමසීම ආසන්නයේ දී පුද්ගලික න්‍යාය පත්රයන් පෙරදැරි කරගෙන බෞද්ධ සමාජය අපහාසයට ලක් කරමින් පටු චේතනා සහිත පදනම් විරහිතව සිදු කරන වෛරී සහගත ප්‍රකාශයන් හෙළා දකිමින් මල්වතු අස්ගිරි උභය පාර්ශවික මහා නායක හිමිවරුන් නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී දළදා මාළිගාවේ මෙන්ම දියඩවන නිලමේ ධුරය බස්නායක නිලමේ ධුරය ඇතුළු සිද්ධස්ථාන හා සැබැඳි නිලයන්ගේ සම්භාවනීයත්වය මෙන්ම ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීමට දියවඩන නිලමේ ධූරය සඳහා තරග කරන සියලුම අපේක්ෂකයින් අධිෂ්ඨාන කරගත යුතු බව උන්වහන්සේලා මෙම නිවේදනයෙන් අවධාරණය කර සිටිති.
උන්වහන්සේලා පෙන්වා දෙන්නේ දළදා මාලිගාවේ ගිහි භාරකත්වය දරන ලංකාවේ පළමුවන බෞද්ධයා ලෙස ලෝක සම්භාවට පාත්රවන ගෞරවණීය තනතුරක් වූ දියවඩන නිලමේ තෝරාගැනීමේ ඡන්දය ලං වත්ම තමන් සහයෝගය දක්වන අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීමේ පටු අරමුණින් විවිධ බාහිර පාර්ශ්ව මගින් සිදු කරන අපහාසාත්මක ප්‍රචාරයන් බහුලවම නිරීක්ෂණය වන බවත්, එම හැසිරීමත් සමග ලෝකය ඉදිරියේ බෞද්ධ සමාජය හෑල්ලුවට ලක්වන අයුරු දක්නට ලැබීම අතිශය සංවේගයට කරුණක් බවත් ය.
මෙය හුදෙක් පුද්ගලානුබද්ධව ලඝු කොට සැලකිය හැකි සිද්ධියක් නොවන බව මහා නායක හිමිවරු කියති. උන්වහන්සේලා පෙන්වා දෙන්නේ මේ හැසිරීම සමස්ත ලංකාවාසී බෞද්ධයාගේ ප්‍රතිරූපය ලෝකය ඉදිරියේ හායනයට හේතු වෙන බරපතල ඛේදවාචකයක් බවය. එම අශ්ලීල හැසිරීම හෙළා දකිමින් උන්වහන්සේලා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.
දියවඩන නිලමේ ධුරය සම්බන්ධයෙන් සිදු කෙරන අපහාසාත්මක සංවාද හා එමඟින් ශ්‍රී දළදා මාළිගාවේ, උභය මහා විහාරයන්ගේ හා සමස්ත බෞද්ධ සමාජයේ ගෞරවයට සිදු වන හානිය පිළිබඳවයි
සමස්ත ලෝකවාසී බෞද්ධ මහජනතාවගේ මුදුන් මල්කඩවන ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරිත්වය හිමිවන දියවඩන නිලමේවරයා මෙරට ප්‍රථම බෞද්ධයා ලෙස සම්භාවනාවට පාත්‍ර වන අතරම ජාත්‍යන්තර වශයෙන් ද බෞද්ධ රටවල් තුළ දියඩවන නිලමේවරයා සම්බන්ධයෙන් පවතිනුයේ ඉමහත් ප්‍රසාදයක් හා ගෞරවයකි. ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමාන දළදා වහන්සේ වෙත සිදු කළ යුතු චිරාගත පූජා චාරිත්‍රයන් සිදු කිරීමේ භාරධුර වගකීම හිමිවන දියවඩන නිලමේ ධුරයේ කටයුතු මල්වතු – අස්ගිරි උභය මහාවිහාරිය ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ මාර්ගෝපදේශයන් අනුව සිදු කළ යුතු අතර එය ගෘහස්ථයෙකු විසින් ශ්‍රී ලාංකේය සම්බුද්ධ ශාසනය හා සැබැඳිව දැරිය හැකි ඉහළතම තනතුර බව නොරහසකි.
1931 අංක 19 දරන විහාර දේවාලගම් පනතට අනුව වසර 10 ක කාලයකට නිලවරණයක් මගින් දිය වඩන නිලමේවරයා පත් කර ගැනීම සිදු කෙරේ. මේ වන විට වර්තමාන දියඩන නිලමේවරයාගේ ධුර කාලය අවසන් වී අභිනව දියවඩන නිලමේවරයෙකු පත් කර ගැනීමේ කටයුතු සිදු කරමින් පවතී. ඒ සඳහා වර්තමාන දිය වඩන නිලමේවරයා ඇතුළු අපේක්ෂකයින් ගණනාවක් ඉදිරිපත් වන බව අප හට දැනගන්නට ලැබී ඇත.
තමන් සහයෝගය දක්වන අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීමේ පටු අරමුණින් විවිධ බාහිර පාර්ශ්ව මගින් සිදු කරන අපහාසාත්මක ප්‍රචාරයන් හේතුවෙන් මේ වන විට ලෝකය ඉදිරියේ බෞද්ධ සමාජය හෑල්ලුවට ලක්වීමත් බෞද්ධ සිද්ධස්ථාන සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රතිරූපයක් සමාජගත වීමත් සංවේගයට කරුණකි. ඇතැම් සංවිධාන හා පුද්ගලයන් දියවඩන නිලමේ තනතුර ඇතුළු සිද්ධස්ථාන හා සැබැඳි ගිහි තනතුරු පිළිබඳ සාවද්‍ය කරුණු ප්‍රචාරය කරමින් සාම්ප්‍රදායික බෞද්ධ සිද්ධස්ථාන හා සැබැඳි චාරිත්‍රයන් සම්බන්ධයෙන් සෘණාත්මක හා වෛරී ආකල්ප ව්‍යාප්ත කරමින් සමාජ අසමගියට හේතු වන අනවශ්‍ය සංවාද ඇති කිරීමට ද කටයුතු කිරීම මේ දින වල බහුල වශයෙන් දැකිය හැකිය. මෙය හුදෙක් පුද්ගලානුබද්ධව ලඝු කොට සැලකිය හැකි සිද්ධියක් නොව නොව සමස්ත ලංකාවාසී බෞද්ධයාගේ ප්‍රතිරූපය හායනයට හේතු වෙන බරපතල ඛේදවාචකයක් බවට මේ වන විට පත්ව තිබීම කණගාටුවට කරුණකි.
ශ්‍රී දළදා මාළිගාවේ චිරාගත චාරිත්‍රයන් ආරක්ෂා කොට පවත්වාගෙන ඒම ඇතුළු දළදා වහන්සේගේ සුරක්ෂාව උදෙසා භාරදුර වගකීම් පැවරෙන දියවඩන නිලමේවරයා ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද බෞද්ධ ප්රබෝධය සඳහා උරදෙමින් කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවකි. එකී කාර්ය සාධනයේ අවශ්‍යතාව හා වගකීම් සමුදාය පිළිබඳ මනා අවබෝධයකින් යුතුව කටයුතු කිරීමේ ස්වකීය ශක්‍යතාව නිසි සැලසුම් මගින් පැහැදිලි කර දීම දියවඩන නිලමේ ධුරය සඳහා ඉදිරිපත් වන සෑම අපේක්ෂකයෙකුගේම වගකීම විය යුතු බව මෙහිලා තරයේ අවධාරණය කර සිටිමු.
පුද්ගලික න්‍යාය පත්රයන් පෙරදැරි කරගනිමින් විවිධ සංවිධාන හා පුද්ගලයන් මෙම කාල සීමාව තුළ බෞද්ධ සමාජය අපහාසයට ලක් කරමින් පටු චේතනාවෙන් පදනම් විරහිතව සිදු කරන වෛරී සහගත ප්‍රකාශයන් හෙළා දකින බවත් එවැනි පටු අරමුණු ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී දළදා මාළිගාවේ මෙන්ම දියඩවන නිලමේ ධුරය බස්නායක නිලමේ ධුරය ඇතුළු සිද්ධස්ථාන හා සැබැඳි නිලයන්ගේ සම්භාවනීයත්වය මෙන්ම ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීමට සියලුම අපේක්ෂකයින් අධිෂ්ඨාන කරගත යුතු බවත් අවධාරණය කර සිටිමු.








