එක්සත් ජනපදය කැළඹූ මාරාන්තික වෙඩි තැබීමකින් පැය 30කට වැඩි කාලයක් ගෙවී ගොසිනි. ඇමරිකානු කොන්සර්වේටිව් ක්‍රියාකාරික චාලි කර්ක්ගේ ඝාතකයා තවමත් අභිරහසකි. ලෝකය දකින්නේ මිනීමරුවා සොයා ෆෙඩරල් මෙහෙයුම තීව්ර වෙමින් පවතින ආකාරය ය.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ධවල මන්දිරයට ගෙන ඒමට තරුණ ඡන්ද බල ගැන්වූ ප්‍රධානම චරිතය ලෙස සැලකෙන 31 හැවිරිදි කර්ක් උටා නිම්න විශ්ව විද්‍යාලයේ (Utah Valley University – UVU) පැවති උත්සවයක කතා කරමින් සිටියදී බදාදා (10) වෙඩි තබා ඝාතනය කරන ලදී. කර්ක් වහාම රෝහල් ගත කළේය. වෙඩි වැදී තිබුණේ ගෙලටය. රෝහල්ගත කිරීමෙන් ටික වෙලාවකට පසු මේ තරුණ සමාජ ක්‍රියාකාරිකයා මිය ගියේය.

ඉන් පසුව සරසවි භූමියය තුළ ඇතිවූ තත්ත්වය සමාජ මාධ්‍ය ඔස්සේ දුටුවෙමු. බියපත් තරුණ පිරිස් හිස් ලූලූ අත දිව ගියහ. ඒ අතර බලධාරීන් විසින් තැනැත්තන් දෙදෙනෙක් රඳවාගෙන පසුව පැය කීපයකින් මුදා හැරියේය. ඔවුන් කීවේ මේ පුද්ගලයින් සිද්ධියේ සැකකරුවන් නොවන බවය.
පසුව ඊයේ (11) නැවත වරක් බලධාරීන් විසින් “කුහුල දනවන පුද්ගලයෙකු” විශ්ව විද්‍යාලයේ වහලක් මතට දිව යන ආකාරය දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශන නිකුත් කළේය. මාරාන්තික වෙඩි තැබීම සිදු වූ බවට විශ්වාස කෙරෙන්නේ ඒ ස්ථානයේ දී ය. වෙඩි ප්‍රහාරය එල්ල වන්නේ 3000ක් පමණ දෙනා රැස් වී සිටි තැනක කර්ක් කතා කරමින් සිටියදී ය. එල්ලවන්නේ තනි වෙඩි පහරකි. එපමණකින් සියල්ල නිමා විය. ඝාතකයා තවමත් නිදැල්ලේය. වෙඩි තැබීම පිටුපස ඇති කිසිදු චේතනාවක් පිළිබඳව බලධාරීන් අනුමාන කර නොමැත.
මේ වනවිට ෆෙඩරල් පොලිසිය දැඩි පීඩනයකය. මරා දැම්මේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ සමීපතම යොවුන් සහචරයා ය. සැකකරු හඳුනා ගැනීමට ෆෙඩරල් පොලිසිය මහජන සහාය අපේක්ෂා කරමින් ඇත. පුද්ගලයාගේ වීඩියෝ දර්ශන සහ ඡායාරූප FBI විසින් ඊයේ නිල වශයෙන් මාධ්‍යයට මුදා හැරියේය.
මේ වනවිට විමර්ශකයින් පුද්ගලයින් 200 කට වඩා වැඩි ගණනකින් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ෆෙඩරල් විමර්ශන කාර්යාංශයට (FBI) සිද්ධිය වූ ස්ථානයේ ඡායාරූප සහ වීඩියෝ යවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව උටා ආණ්ඩුකාර ස්පෙන්සර් කොක්ස් කීවේය. ආණ්ඩුකාරවරයා කීවේ විමර්ශකයින්ට සාමාන්‍ය ජනතාවගෙන් තොරතුරු 7,000 ක් පමණ ලැබී ඇති බවය.
“අපට හැකි තරම් උදව් අවශ්‍යයි,” ඔහු ඊයේ (12) රාත්‍රියේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී FBI අධ්යක්ෂ කාෂ් පටෙල් සහ ඔහුගේ නියෝජ්‍ය ඩෑන් බොන්ගිනෝ සමඟ පැවසීය. “දැන් මහජනතාවගේ උදව් නොමැතිව අපට අපගේ කාර්යය කළ නොහැකියි.”
පලා ගියේ කොතැනට ද?
ප්‍රහාරකයා පලා ගිය බව විශ්වාස කරන්නේ අසල වනාන්තරයකටය. වනාන්තරය ආසන්න නිවසක වහලයේ අත්ලක සලකුණක් සහ සපත්තුවක අඩි සලකුණක් විමර්ශකයින් විසින් සොයාගෙන තිබේ. ඒ සමගම විමර්ශන අංශ රයිෆලයක් ද සොයා ගෙන ඇත. ඔවුන් කියන්නේ චාලි කර්ක්ගේ ඝාතකයා මෙම රයිෆලය භාවිතා කරන්නට ඇති බවය.
FBI විශේෂ නියෝජිත රොබට් බෝල්ස් සොයා ගත් රයිෆලය ගැන කීවේ මෙසේය. “එය අධි බලැති, බෝල්ට්-ඇක්ෂන් රයිෆලයක්” . මූලාශ්‍ර උපුටා දක්වන එක්සත් ජනපද මාධ්‍ය ආයතනවලට අනුව, එය ආනයනය කරන ලද මවුසර් 0.30-06 බෝල්ට්-ඇක්ෂන් රයිෆලයකි.
වෙනත් අර්ධ ස්වයංක්‍රීය තුවක්කු මෙන් නොව, බෝල්ට්-ඇක්ෂන් රයිෆල්වල වෙඩි තැබීමේ වේගය අඩු නමුත් ඉලක්කයේ නිරවද්‍යතාවය ඉහළය. ඒ සඳහා ඉහළ මෙම රයිෆල විශේෂ ඇගයීමට ලක් වන්නේය. ඝාතන සාක්ෂියක් ලෙස ආයුධය දැනට FBI රසායනාගාරයක විශ්ලේෂණයට භාජනය වෙමින් පවතින බව FBI විශේෂ නියෝජිත රොබට් බෝල්ස් පැවසීය.
පතොරොම්වල විශේෂයක්
රයිෆලය සහ ඒ තුළ ඇති නොකැඩූ පතොරම් තුන සංක්‍රාන්ති ලිංගික සහ ෆැසිස්ට් විරෝධී දෘෂ්ටිවාදයේ ප්‍රකාශන කැටයම් කර ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නලය සඟරාව ඊයේ (12) ප්‍රකාශයට පත් කර තිබිණි. ඒ වගකිවයුතු අභ්‍යන්තර නීතිය ක්‍රියාත්මක කිරීමේ පුද්ගලයෙක් උපුටා දක්වමිනි.
කර්ක්ගේ මාරාන්තික වෙඩි තැබීමට වගකිව යුතු පුද්ගලයා හෝ පුද්ගලයින් හඳුනා ගැනීමට සහ අත්අඩංගුවට ගැනීමට හේතු වන තොරතුරු සඳහා ඩොලර් 100,000 ක් දක්වා ත්‍යාගයක් ඊයේ දිනයේ දී FBI නිවේදනය කළේය.
උටා හි අණ්ඩුකාරවරයා ප්‍රහාරකයා සොයාගෙන නඩු විභාගයට භාජනය වූ විට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පොරොන්දු වී ඇත. ඝාතකයා අල්ලා නඩු අසා මරා දැමීමට තවමත් ඔහුව අල්ලා ගත නොහැකි වී තිබේ. ගැටලුව එතැනය.







