සාකච්ඡා කර ඕනෑම කාරණාවක් විසඳා ගත හැකි බවත්, සමස්ථ ජනතාවටම සහන සැපයීම සඳහා රජය විද්‍යාත්මකව කටයුතු දියත් කළේ වෘත්තීය සමිති සමග ප්‍රමාණවත් තරම් සාකච්ඡා කර බැවින් කඩකප්පල්කාරී ක්‍රියාවලට නොපෙළඹෙන්නැයි විදුලි සේවකයින්ගෙන් ඉල්ලා සිටින බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද කැබිනට් මාධ්‍ය හමුව අමතමිනි.
“2025 අංක 14 දරන විදුලිබල සංශෝධන පනත ප්‍රකාරව සියයට සීයක් රජය සතු සමාගම් 06ක් ආරම්භකර පවත්වාගෙන යන්න හදන්නේ. විදුලිය ජනනය, සම්ප්‍රේක්ෂණය, පද්ධති පාලනය සහ බෙදා හැරීම සඳහා වන මේ රාජ්‍ය සමාගම් 04 ලියාපදිංචි කරලා අවසානයි. මේ රාජ්‍ය සමාගම් 04ට තමයි විදුලි බල මණ්ඩලයේ සේවකයින් ඔවුන්ගේ කැමැත්ත පරිදි ඇතුළත් කරගන්න කටයුතු කරන්නේ.”
“ඒ සඳහා ඔක්තෝම්බර් 27 දක්වා දින ලබා දී තිබෙනවා. මේ සමාගම් හතරට සියයට සීයක් භාණ්ඩාගාර ලේකම් සතුවන රජය සතු සමාගම් හතරට ඇතුළත් වෙන්න අකමැති සේවකයෙක් ඉන්නවා නම් ඔව්න්ට උපරිමය ලක්ෂ 50කට යටත්වන වන්දි මුදලක් ලබාගෙන ඉවත් වෙන්න අවස්ථාව තිබෙනවා. ඒක තිබෙන්නේ සේවකයා මත. “
“තවත් සමාගම් දෙකක් ස්ථාපිත කරනවා. එකක් තමයි විශ්‍රාම වැටුප් සහ අර්ථසාධක අරමුදල් පිළිබඳ කටයුතු කරන සමාගමක්. මේ සමාගම් ප්‍රධාන සමාගම් 04ට ඇතුළත් නොවී පරිවර්තනීය කටයුතුවලට අවශ්‍ය කෙටි කාලීන සමාගම් පවත්වාගෙන යනවා. “
“මේ සමාගම් දෙකම සේවකයින් ඇතුළත් කරගන්නා සමාගම් නෙමෙයි. සංක්‍රාන්ති අවධියේ දී පිහිටුවන සමාගම් දෙකක්. මේ ගැන විදුලිබල මණ්ඩල සභාපතිවරයා, විදුලි බල ඇමතිවරයා සාකච්ඡා වට ගණනාවක් වෘත්තීය සමිති එක්ක කළා. වෘත්තීය සමිති සතුටු වෙන්න ඕන කලින් රජය සතු සමාගම්වලට නොදී විදුලිබල පුද්ගලික සමාගම් කරන්න ගිය එක වෙනුවට මේ වනවිට රාජ්‍ය සමාගම් හතරක හැදෙන එකට.”
“මේ රට ආර්ථික වශයෙන් නැගී සිටින්නට මෙන්ම සමස්ථ ජනතාවට සහන සැලසීමට විද්‍යානුකූලව කටයුතු කරමින් ඇති අවස්ථාවක එය කඩාකප්පල් කරන්න එපා. ඕනෑම දෙයක් සාකච්ඡා කරන්න පුලුවන්. සියයට සීයක් රජය සතු සමාගම් වෙනවා නම් ඉන්න විදුලි බල සේවකයින්ට විරුද්ධතාවය දක්වන්න ඕන නෑ. ඒ ලෙස සේවය කරන්න බැරිනම් ඉවත් වීම සඳහා ප්‍රමාණවත් වන්දි මුදලක් ලබා දීලා තියනවා. “







