තරගාවලිය දිනුම්ය. අද තරගය ජය ගන්නේ කඩුළු 05කිනි. අවසන් ඕවරයේ තුන් වැනි පන්දුව තෙක් තරගය ඇදී ගියේය. පැතුම් නිශ්ශංක නැවත ප්‍රදර්ශනාත්මක පිතිකරණයක නිරත විය.
සිම්බාබ්වේ සමග තරගාවලිය 2-0කින් ජයග්‍රහණය කළ බව සැබෑය. නමුත් මේ තරග දෙකම ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගන්නේ තියුණු තරගයකින් පසුවය. පළමු තරගයේ දී ඔවුන් හිටියේ ජයග්‍රහණයේ මුවවිටේය. ඒ ජයග්‍රහණයේ අභිලාෂකාමී ගමන නවතින්නේ අවසන් පන්දු ඕවරයේ ඩිල්ෂාන් මධුශංක කළ වික්‍රමයෙනි.
අද තරගයත් සිම්බාබ්වේ කණ්ඩායම අභියෝගාත්මක පිතිකරණය යෙදුනේය. කදිම පන්දු යැවීමක නිරත වූයේය. සිකන්දර් රාසා මුළු තරගය පුරාම පන්දුවට පහරදීමෙන් පමණක් නොව පන්දු යැවීමෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ලකළ අභියෝගය ක්‍රීඩා ලෝලීන් බලා සිටියේ ආශ්වාදයෙනි.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවට පහරදීමට ආරාධනා කළේය. අප දකින්නේ අත් නොහැර තරග වදින සිම්බාබ්වේ ක්‍රීඩකයින්ය. බෙන් කරන් පන්දු 95ක දී ලකුණු 79කි. සිකන්දර් රාසා නොදැවී ලකුණු 59කි. ක්ලිව් මඩන්ඩේ ලකුනු 36ක් බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 20ක්, නායක සේන් විලියම්ස් ලකුණු 20ක් ලැබුවේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ විනය තිබුණේ බරපතල තැනකය. පන්දු ඕවර 50ක තරගයක වයිඩ් පන්දු 19ක් යැවීම ඛේදවාචකයකි. ඒ සමග පන්දු ඕවර 3කුත් පන්දුවක් වැඩිපුර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් යවා තිබිණි. සමස්ථ අතිරේක ලකුණු සංඛ්‍යාව 22කි. පන්දු ඕවර 50 අවසානයේ දි සිම්බාබ්වේ කණ්ඩායමේ ක්‍රීඩකයින් ලකුණු 277ක් කඩුළු 07ක් දැවී ලබා ගත්හ. ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු ජයග්‍රාහී ඉලක්කය ලකුණු 278කි. අසිත ප්‍රනාන්දු පන්දු ඕවර 9ක් යවා ලකුණු 67කට කඩුළු 2කි. දුෂ්මන්ත චමීර ලකුණු 52ට කඩුළු 3කි. ජනිත් ලියනගේ පන්දු ඕවර 7ක් යවා ලකුණු 36ට කඩුළු 1කි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රි ලංකා කන්ඩායම යළිත් වරක් ගොනු කරන්නේ පැතුම් නිශ්ශංකය. පැතුම් හතරේ පහර 16ක් සමග පන්දු 136ක දී ලකුණු 122ක් රැස් කළේය. නායක චරිත් අසලංක පන්දු 61ක දී ලකුණු 71ක් ලැබීය. සධීර සමරවික්‍රම ලකුනු 31කි. ඊට පන්දු 46ක් වැය කළේය. ජනිත් ලියනගේ නොදැවී ලකුණු 19කි. තරගයේ වීරයා පැතුම්ය.
අප කඩුළු 5කින් අවසන් පන්දු ඕවරයේ දී ජයගත් බව සැබෑය. නමුත් අපට වඩා සංයමයකින් සිම්බාබ්වේ පන්දු යවන්නෝ පන්දු යැවූහ. ඔවුන් තරගය පුරාම පීඩනය ඇති කළේ ඒ සංයමත් සමගය. අප අතිරේක ලකුණු 22ක් දෙන විට සිම්බාබ්වේ පන්දු යවන්නන් ලබා දෙන්නේ අතිරේක ලකුණු 11කි. අප වයිඩ් පන්දු 19ක් යවනවිට ඔවුන්ගෙන් වාර්තා වන්නේ වයිඩ් පන්දු 06කි. අප අවසන් මොහොත දක්වා පීඩනයක් කරගෙන තිබුණේ අප විසින් ඔවුන් වෙත ප්‍රදානය කළ අතිරේක පන්දු ඕවර 03 යි පන්දුවක් සහිත ලකුණු 19 ය.
ආසියානු කුසානය මුවවිටේ තියාගෙන ශ්‍රේණිගත කිරීමේ දී අපට වඩා ස්ථාන 07ක් පහළින් සිටිනා සිම්බාබ්වේට තරගාවලියක් ගසා ආතල් ගත නොහැක්කේ මේ ඇත්ත කතාව දකින විටය.







