ලලිත් චාමින්ද
තැපැල් දෙපාර්තමේන්තුවේ විවිධ ශ්‍රේණිවලට අයත් පුරප්පාඩු 4,573ක් පවතින බැව් තැපැල් දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවේ සදහන් වේ.
.තැපැල් කාර්යාලවල මෙහෙයුම් කටයුතු සිදුකරණු ලබන එක, දෙක හා තුන යන ශ්‍රේණිවලට අයත් තැපැල් සේවා නිලධාරින් 1,662කගේ පුරප්පාඩු පවතින බවද එම වාර්තාවේ දැක්වේ.
සහායක කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු 2145ක් පවතින අතර විධායක මට්ටමේ සිට ප්‍රාථමික ශ්‍රේණි දක්වාම පුරප්පාඩු පවතින බවද කාර්යසාධන වාර්තාවේ සදහන් වී තිබේ.
තැපැල් දෙපාර්තමේන්තුව සදහා අනුමත කාර්යමණ්ඩලයෙන් සියයට 32ක පමණ පුරප්පාඩු පවතින අතර මෙසේ විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් පැවතිම තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි පවත්වාගෙනයාමට විශාල අභියෝගයක් වී ඇතැයි එම වාර්තාවේ දැක්වේ.
තැපැල් සේවක හිඟය තැපැල් කාර්යාල කවුළු කටයුතු, තැපැල් ප්‍රවාහන කටයුතු මෙන්ම තැපැල් බෙදිමේ කටයුතු සහ අභ්‍යයන්තර මානව සම්පත් සංවර්ධන කටයුතු සඳහා ද බලපැමක් වී ඇති බවද මෙම වාර්තාවේ පෙන්වා දී තිබේ.
එමෙන්ම හාරදහසක් පමණ වු තැපැල් කාර්යාලයන්වලට ජාලයේ මෙහෙයුම් කටයුතු සදහා අවශ්‍ය තාක්ෂණික උපකරණ හිඟයද බරපතල ගැටලුවක් බවට පත්ව තිබේ. බොහෝමයක් උපතැපැල් කාර්යාල පරිඝණක තාක්ෂණය රහිතව සිය මෙහෙයුම් කටයුතු සිදුකරගෙන යන අතර එම උපකරණ ලබාදිම සඳහා ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවිම බරපතල ගැටලුවක් බවට පත්ව ඇත.
මෙම තත්ත්වය නිසා උපතැපැල් කාර්යාලව ස්ථානාධිපතිවරුන් බොහොමයක් සිය පුද්ගලික දුරකථන මගින් ජාලගත සේවා සපයන බවද කාර්යසාධන වාර්තාවේ සදහන් වේ.
මේවනවිටත් රජය මගින් තැපැල් සේවා නිලධාරින් බදවා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබේ.







