මනම්පිටිය නිමල් ජයරත්න –
හෙරොයින් මිලි ග්‍රෑම් 240ක් සමග අත් අඩංගුවට ගත් මත් කුඩු පානයට ඇබ්බැහි වූ තරුණ විහාරාධිපති හිමිනමක් ලබන 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව බන්ධනාගාරය හරහා මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමුකර මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කඳවුරකට යොමු කර පුනරුත්ථාපනය කරන ලෙස අද (14) පොළොන්නරුව මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් නියෝග කළාය.
මෙසේ බන්ධනාගාරගත කර මනෝ වෛද්‍යවරයෙක් හරහා මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇත්තේ පුලතිස්ගම, කෑගළුගම ශ්‍රී නාලන්දාරාමයේ විහාරාධිපති ධූරය දරමින් සිටි කුසුම්පොකුණේ සීලවිමල නැමැති චීවර ධාරියෙකි.
31 හැවිරිදි මෙම හිමිනම මත් කුඩු පානයට ඇබ්බැහි වී සිටින බව දායක සභාව ද දැනගෙන සිට ඇති අතර දායක සභාව විටින් විට හිමි නමගෙන් මෙම දුරාචාරයෙන් වැළකී සිටින ලෙස කළ ඉල්ලීම ද ඔහු විසින් දිගින් දිගටම නොසලකා හැර ඇතැයි ද වාර්තා වේ.
මේ සම්බන්ධව දායක සභාව විසින් ද පොලිසිය දැනුම්වත් කර ඇත්තේ ඉන් අනතුරුවය. මේ තොරතුරු ඔස්සේ පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මෙහෙයුමක් දියත් කර ඇත. එම මෙහෙයුමේ දී හිමිනමගේ ඇනවුමකට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය – කළහගල මාර්ගයේ තැනක සඟවා තැබු මත් කුඩු මිලි ග්‍රෑම් 240ක කුඩා පැකට්ටුවක් සඟවා තැබූ තැනින් ගන්නා විට විමර්ශන අංශ මෙම හිමිනම සහ තවත් පුද්ගලයෙක් අද (14) අත් අඩංගුවට ගෙන තිබේ. 31 වයසැති හිමිනම සමග අත් අඩංගුවට ගෙන ඇති අනෙක් පුද්ගලයා පොළොන්නරුව පලුගස්දමන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38 වයසැති පුද්ගලයෙකි.
මෙම පුද්ගලයන් දෙදෙනා දීර්ඝ කාලයක සිටි හෙරොයින් මත්ද්‍රවලට ඇබ්බැහි වී සිටින්නන් බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ටී. බණ්ඩාර අප කළ විමසීමකදී සඳහන් කළේය.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග, පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.ජේ.කේ. ජාගොඩගේ උපදෙස් මත, පොලිස් පරීක්ෂක ඒ.ටී.බණ්ඩාර, පොලිස් සැරයන් 42229, 71997අනිල්, පොලිස් කොස්තාපල්, 82748 සඳකැලුම්, 88883 ලක්මාල්, 609 සමන්මදු යන පොලිස් නිලධාරීහු මෙම වැටලීම් සිදුකළහ.







