ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නව සභාපතිවරයා ලෙස පත් කර එවූ වෛද්‍ය තමර කළුබෝවිල අද (30) උදෑසන සිය ධූරයේ වැඩ භාර ගත්තේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නිලන්ද ජයතිස්ස විසින් පත් කර එවූ හිටපු සභාපති ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජයංග තිලකරත්න ජයවර්ධනපුර රෝහල් පරිපාලනයේ මුළුමනින්ම අසාර්ථක වූ පසු නැගුන විරෝධය හමුවේ ඉල්ලා අස්වුනේය. ඒ ඔහු ඉවත් කිරීමට සූදානමක් පැවති පරිසරයක බව අභ්‍යන්තර ආරංචි මාර්ග කීවේය.
දඹුල්ල රෝහලට වාර්ෂික ස්ථානමාරුවීම් අනීතික ලෙස අවලංගු කර ඔහු කාසල් වීදිය කාන්තා රෝහලේ නේවාසික විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස පත්කිරීමට කටයුතු කිරීම සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ දැඩි විරෝධය සෞඛ්‍ය ඇමතිවරයාට එල්ලවත්ම නිසි මාරුවීම් ක්‍රියාවලිය අනුගමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිද්ධ වූ අතර ඔහුව දඹුල්ල රෝහලට මාරු කර යැවීය.
ඒ සමගම රෝහල් පරිපාලනයේ බිඳ වැටීම සම්බන්ධව ඔහුට රජයේ වෘත්තීය සමිතිය හැරුණු විට අනෙක් සියලුම පාර්ශවයන්ගෙන් බරපතල චෝදනා එල්ල වූයේය. එම චෝදනා අතර වූ එක් කාරණාවක් වූයේ ජයවර්ධනපුර රෝහලේ රජයේ වෘත්තිය සමිති නායකයා වූ විදුලි කාර්මිකයා තමන්ට අවශ්‍ය ලෙස හිටපු සභාපතිවරයාව මෙහෙයවන බවය.
මේ තත්ත්වය තුළ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය ජයංග තිලකරත්න එම ධූරයෙන් ඉල්ලා අස් වූ පසු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් වෛද්‍ය තමර කළුබෝවිල ජයවර්ධනපුර රෝහලේ නව සභාපතිවරයා ලෙස පත් කර, ඊට අදාළ පත්වීම් ලිපිය ඊයේ (29) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී භාර දුන්නේය.
කොළඹ රාජකීය විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ඇති වෛද්‍ය තමර කළුබෝවිල මහතා 1986 වසරේ දී කොළඹ වෛද්‍ය පීඨයෙන් MBBS වෛද්‍ය උපාධිය ලබාගෙන වෛද්‍ය වෘත්තියට පිවිස ඇත.
පානදුර රෝහලෙන් වෛද්‍යවරයකු ලෙස සිය රාජකාරී දිවිය ආරම්භ කළ ඔහු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, මාතෘ හා ළමා වෛද්‍ය නිලධාරී, වසංගත රෝග වෛද්‍ය නිලධාරි, ආයතන භාර වෛද්‍ය නිලධාරී ආදී වශයෙන් තනතුරු රැසක සේවයෙන් පසු හොරණ රෝහලේ වෛද්‍ය අධිකාරී ලෙස වෛද්‍ය පරිපාලන ක්ෂේත්රයට පිවිස තිබේ.
වෛද්‍ය පරිපාලන සේවාවට අදාළ පශ්චාත් උපාධිය කොළඹ පශ්චාත් උපාධි ආයතනයෙන් 2002 වසරේ ලබාගෙන ඇති වෛද්‍ය තමර කළුබෝවිල ඉන් අනතුරුව පානදුර රෝහල, හොරණ රෝහල, කළුතර මහ රෝහලේ මෙන් ම කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්යක්ෂ ලෙසත්, කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ (RDHS) ලෙසත් කටයුතු කර ඇත.







