ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපා දැම්මේය. මේ නිලධාරියා සම්බන්ධව සමස්ථයක් ලෙස පොලිස් සේවය තුළ තිබුණේ ගෞරවයකි. ඔහු සිය අදූෂිත භාවය තහවුරු කළ අයෙක් බව කියැවිනි. එමෙන්ම දක්ෂතාවය සම්බන්ධව හායනයක් නොපෙන්වූ නිලධාරියෙකි. දේශබන්දුගෙන් පසු පොලිස්පති ධූරය දැරීමේ අවස්ථාව තිබුණේ නිලන්ත ජයවර්ධනයට. එහෙත් අද ඔහු පොලිස් ඉතිහාසයේ සිටි බරපතලම අසමත් නිලධාරියාය. මහා ඛේදවාචකයක් වළක්වා නොගත් ඉතිහාසගත අදක්ෂයා ය.
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන කල්තියා ඉන්දියානු බුද්ධි අංශයකින් තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාරය වළක්වා ගැනීමට නිසි ක්‍රියමාර්ග නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහකිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ.
නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් පැවති ත්‍රිපුද්ගල විනිශ්චය සභාවේ වාර්තාව පොලිස් කොමිෂන් සභාවට ලැබීමෙන් අනතුරුව පසුගිය 17 වෙනිදා රැස්වූ ජාතික කොමිෂන් සභාව එම විනය පරීක්ෂණ මණ්ඩල වාර්තාව ගැඹුරින් සලකා බලා මෙම තීරණයට එළඹ තිබිණි.
ත්‍රිපුද්ගල විනිශ්ඡය සභාව සහ විනය පරීක්ෂණය
ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට ත්‍රිපුද්ගල විනිශ්චය සභාවක් පත්කරනු ලබන්නේ 2024 වසරේ ජූලි 01 වැනිදාය. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු චම්පා රාජරත්නම් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පත්කරනු ලැබූ එම ත්‍රිපුද්ගල විනිශ්චය සභාව සෙසු සාමාජිකයන් ලෙස පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් වූ ඒ.එච්. ගමගේ සහ එස්.කේ.ලියනගේ කටයුතු කරනු ලැබීය.
නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කරනු ලබන්නේ 2024 වසරේ මාර්තු 21 වැනිදා රැස්වීමෙන් අනතුරුවය.
2019 අප්‍රේල් 21 පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වින්දිත පාර්ශවයන් විසින් ගොනු කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ මුලික අයිතිවාසිකම් අයදුම්පත් අංක 163/2019, 165/2019, 166/2019, 184/2019. 188/2019, 191/2019, 193/2019, 195/2019, 196/2019, 197/2019, 198/2019, ໙໙ 293/2019 අයිතිවාසිකම් නඩුවලට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2023 ජනවාරි 12 වන දින ප්‍රකාශයට පත් කරන ලද නඩු තීන්දුව මඟින් එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂව සිටි නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලබාදී ඇති තීන්දුව ප්‍රකාරව මූලික විමර්ශනයක් සිදු කර, ජාතික පොලිස් කොමිෂන් සභාව NPC/EST/DISC/ASP/1/2023 අංකය යටතේ 2023 වසරේ නොවැබ්මර් මස 17 වැනි දා ඔහු වෙත චෝදනා පත්‍රයක් නිකුත් කළේය. පහත දැක්වෙන්නේ ඒ චෝදනා පත්‍රය ය.
එම චෝදනා පත්‍රය සම්බන්ධයෙන් ඔහු විසින් මාර්තු මස 12 දිනැතිව පිළිතුරු ඉදිරිපත් කළ අතර 2024 මාර්තු මස 21 දින රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභා සැසිවාරයේදී විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබිණි. ඊට අදාළව ත්‍රිපුද්ගල විනිශ්චය සභාව එම වසරේ ජූලි මාසයේ මුල පත්කරනු ලබන ජාතික පොලිස් කොමිෂන් සභාව රැස්වී නිලන්ත ජයවර්ධන මහතාගේ වැඩ තහනම් කිරීමට ද 2024 වසරේ ජූලි 18 වැනිදා තීරණය කරනු ලැබීය. ඒ වන විට නිලන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) වශයෙන් රාජකාරී සිදු කරමින් සිටියේය. මේ දැක්වෙන්නේ වැඩ තහනම් කරමින් සිදුකළ නිවේදනය ය.

පාර්ලිමේන්තුවේ දී කියැවුන කතාව – අවස්ථා 07කදී ලිඛිතව දැනුම් දීලා
පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර එම ප්‍රහාරය සම්බන්ධව සියලුම තොරතුරු එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර, අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවී සෙනවිතරත්න, එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, වෙත එවකට රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් අවස්ථා 07ක දී ලිඛිතව දන්වා ඇතැයි 2023/12/07 දින පාර්ලිමේන්තුවේ දී කියැවුනේය.
මෙම හෙළිදරව්ව සිදුවන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්දව මහජන අරාක්ෂාව පිළිබඳ ඇමතිවරයාගෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි විසින් මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයා වෙනුවෙන් එම පිලිතුර එවකට සභානායක සුසිල් ප්‍රේමජයන්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විසින් පහත නිලධාරින් වෙත අදාල බුද්ධි තොරතුර යොමුකර ඇති ආකාරය පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයට පත් වුයේ මෙසේය.
- 2019. 04. 07 දින S1612/2019 ලපිය මගින් 2019.04.04 විදේශ බුද්ධි ආයතනයක් විසින් ලබා දුන් තොරතුරු පිළිබඳව දැනගැනිම සහ උපදෙස් පතා ජාතික බුදධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් වෙත ලිඛිතව යොමු කර ඇත.
- 2019.04.04 දින විදේශ බුද්ධි ආයතනයෙන් ලද තොරතුරු විශ්ලේෂණය කර, ප්‍රහාරය පිළිබඳ එම තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් පසු, එම ප්‍රහාරය පිළිබඳ තොරතුරු 19.04.09 වැනි දින S1612/2019 දරන ලිපිය මගින් පොලිස්පති පූජිත් ජයසුන්දර සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න වෙත ලිඛිතව දැනුම්වත් කර ඇත.
- 2019/04/18 දින S1758/2019 දරන ලිපිය මගින් 19.04.16 වැනි දින තාලංකුඩා ප්‍රදේශයේ කරන ලද යතුරුපැදි පිපිරවීම යම් කිසි පිපිරවීමකට පෙර සහරාන් ඇතුළු කණ්ඩායම කළ පුපුරුවා හැරීමක් බව පොලිස්පති පූජිත් ජයසුන්දර සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න ලිඛිතව දැනුම්වත් කර ඇත.
- 2019/04/19 දා S1758/2019 දරන ලිපිය මගින් කාලංකුඩා යතුරුපැදිය පුපුරුවා හැරීම සම්බන්ධව වැඩිදුර වාර්තාව සහ සහරාන් ජාලය සමග සමීපව සම්බන්ධතා පවත්වන විදේශීය දුරකථන අංක සහිතව වැඩිදුර වාර්තාවක් පොලිස්පති පූජිත් ජයසුන්දර සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සිරිවර්ධන වෙත ලිඛිතව දැනුම් දී ඇත.
- 2019/04/20 දින අංක S1958/19 දරන ලිපිය මගින් සහරාන් ගැවසෙන ප්‍රදේශ හා ඔවුනගේ ජාලය ගැන වැඩිදුර තොරතුරු පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න වෙත ලිඛිතව දැනුම්වත් කර ඇත.
- 2019/04.20 දින වට්ස් ඇප් ටෙක්ස්ට් පිණිවිඩ මගින් 2019.04. 21 දා හෝ ඊට පෙර ඕනෑම වෙලාවක දී ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ ක්‍රියාකාරීන්වන සහරාන් ඇතුළු කණ්ඩායමක් කතෝලික පල්ලි සහ හෝටල් ඉලක්ක කරගනිමින් ඉස්ලාමය වෙනුවෙන් ස්වර්ගයට යෑම සඳහා කරන ප්‍රහාරයක් සඳහා සූදානමක් ඇති බවත් අත්හදා බැලීමක් 2019/04/16 දින තාලංකුඩාවලදි සිදුකළ බවටත් ආරක්ෂ අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න දැනුම්වත් කර ඇත
- 2019/04/21 දින වට්ස්ඇප් මගින් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, දැනුම්වත් කර ඇත.
ත්රිප්රද්ගල විනිශ්ඡය සභා කමිටු වාර්තාව
සිදුකළ ලද විධිමත් විනය පරීක්ෂණයේ වාර්තාව ත්‍රි පුද්ගල විනිශ්චය සභාව විසින් පසුගිය 04 වැනි දින ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යොමු කර තිබේ. එම වාර්තාව සමඟ යොමුකර තිබූ පැමිණිල්ල මෙහෙයවීමේ නිලධාරිගේ වාර්තාව, රැකවරණ නිලධාරිගේ වාර්තාව සහ අදාළ සියලු ලේඛන ගැඹුරින් අධ්‍යයනය කරන ලද ජාතික පොලිස් කොමිෂන් සභාව විසින්
- විධිමත් විනය පරීක්ෂණ වාර්තාව අනුව චෝදනා පත්‍රයේ සඳහන් සියලු චෝදනා සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අනිවාර්ය නිවාඩු ගන්වන ලද), නිලන්ත ජයවර්ධන මහතා වරදකරු බවත්,
- ඉහත චෝදනා ආයතන සංග්‍රහයේ ii වන කාණ්ඩයේ සඳහන් රාජ්‍ය නිලධරයන් විසින් සිදු කළ හැකි වරදවල් සම්බන්ධව පළමුවන උපලේඛනය යටතට ගැනෙන වැරදි බවත් නිරීක්ෂණය කර තිබේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට පෙර ඒ සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශයක් විසින් අවස්ථා කිහිපයකදීම ඒ ගැන දැනුම් දී රාජ්‍ය බුද්ධි සේවයට බවත් ඒ සම්බන්ධව අවස්ථා 07ක දී පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇති බව කියැවින. එහෙත් ඒ බුද්ධි වාර්තාව සම්බන්ධයෙන් ඇති බරපතළ තත්ත්වය පැහැදිලි කර දෙමින් එම ප්‍රහාරය වළක්වා ගැනීමට සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම අවශ්‍ය දැනුම්වත් කිරීමක් ඉහළ බලධාරීන්ට ලබාදෙමින් සිය වගකීම නිසි ලෙස ඉටුනොකර ඇති බව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පත්කළ කොමිෂන් සභාව මෙන්ම විනය පරීක්ෂණ මණ්ඩලයේ ද අදහස වූයේය.
මෙම කරුණු සැලකිල්ලට ගෙන නිලන්ත ජයවර්ධන චෝදනා පත්‍රයේ සඳහන් සියලු චෝදනා සඳහා වැරදිකරු බව පසුගිය 17 වැනි දින රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් තීරණය කළේය.
ඒ අනුව ඔහු විසින් කරන ලද වරදේ තීව්‍රතාව සැලකිල්ලට ගෙන ආයතන සංග්‍රහයේ ii කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 24:3:1 වගන්තිය පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහකිරීමට ජාතික පොලිස් කොමිෂන් සභා සැසිවාරයේ දී තීරණය කළේය.







